VIDEO: තමන්ට හෝ තම පවුලට බජට් එකක් හදාගන්න පෙරහුරුවක් – Prepare to Mae a Personal or Family Budget

අපේ අතට මුදල් එනවා. එන මුදල් යනවා. බොහෝ වෙලාවට අපි දන්නේත් නැහැ කොහේ යනවද කියලා. එහෙමයි නේද?

මේ ඔබට සීමා වූ දුර්වලකමක් නොවේ. බොහෝ අනෙක් අයත් මේ විදියමයි. නමුත් ඔබ මේ ගැන සිත බැලුවොත් ඔබට පෙනේවි මේ විදියට ගිහින් ඔබේ ජීවන සිහින සැබෑ කරගන්නට බැරිබව. අපේ සිහින බොහොමයක් තවමත් සිහින වී තිබෙන්නේ අපට ඒවා සැබෑ කරගන්නට මුදල් නොමැති වීම් නිසා නේද? මේ සඳහා තවත් හේතු තිබෙනවා. ඒ ගැන මම කලින් වීඩියෝවක කතා කළා. [ එම වීඩියෝව: මුදල් පාලනය සාර්ථක කරගැනීමට කරුණු 5ක් | 5 Tips for Managing Money by Diyunuwa YouTube Channel ]

තෝන් ලනුවක් නොමැති අශ්වයෙක්

පාලනයක් නොමැති වියදම් තෝන් ලනුවක් නොමැති අශ්වයෙක් වගේ. වේගයෙන් ඉදිරියට දුවනවා. ඔබව කරදරේ දමනවා. එහෙම නේද? වියදම් අශ්වයා මෙල්ල කරන්න නම් ඌ ගැන හොඳින් දැනගන්න ඕනෑ. එනිසා තමයි මම කලින් වීඩියෝවක [මුදල් පාලනය සාර්ථක කරගැනීමට කරුණු 5ක් ] පැහැදිලි කර දුන්නේ තනිකඩ අයත්, විවාහක අයත්, කොයි කවුරුත් තමන්ගේ දෛනික වියදම් දිනපතා පොතක සටහන් කරගතයුතු බව. [මේ වීඩියෝවට පෙර එම වීඩියෝව නරඹා තිබුණානම් ඔබට තවත් පහසුයි.]

ඔබ සතියක් වියදම් සියල්ල ලියගත්තානම් ඔබටම වැටහේවි මීළඟ සතියේ ඔබ විසින් කැපිය යුතු, කැපියහැකි වියදම් මොනවාද කියා. මෙලෙස වියදම් දිගටම ලියාගන්න. ඉන් පසුව ඔබට පහසුවෙන්ම පුද්ගලික හෝ පවුලේ බජට් එක්ක හදාගන්න හැකි වෙනවා.

මා පවත්වන පුද්ගලික මුදල් පාලන වැඩමුළු වලදී පෙනී යනවා වැඩි දෙනෙක් මේ දුර්වලතාවය නැතිකරගන්න උනන්දු වන බව. ඔබත් ඒ සඳහා උනන්දුයිද? ඔබත් ඔබ උපයන මුදලින් යමක් ඉතිරිකර සාර්ථක අනාගතයක් ගොඩනගාගන්න කැමතිද? එහෙනම් මේ වීඩියෝව බලන්න. එහිදී ඔබට හැකි වෙනවා ඔබේ අනවශ්‍ය වියදම් කපාහැර වඩාත් පලදායී අයුරින් ඔබේ මුදල් වියදම් කරන්න.

මුලින්ම අපි ඔබේ ගිය මාසේ ආදායම්, වියදම් සහ ඉතුරුම් ලියා ලැයිස්තු ගත කරගනිමු. එය මීළඟ මාසේ සඳහා  බජට් එකක් හදාගන්න පෙරහුරුවක් ලෙස සිතමු.

බජට් එකක් යනු කුමක්ද?

අපි බජට් ගැන දන්නවා. අහලා තියෙනවා. රටේ බජට් එක කියන්නේ රටේ වසරක ආදායම්, වියදම් සහ ඉතුරුම් ලැයිස්තුවක්. වැඩ කරන අයට බජට් කරලා පුරුදුයි. එහෙම නැතිනම් බජට් එකක් සපුරාගන්න කටයුතු කරලා පුරුදුයි. අපේ කළමනාකරු අපිට ටාගට් දෙනවා. එහෙම දෙන්නේ එතුලින් ඔහුගේ නැතිනම් ආයතනයේ මාසික බජට් එක සපුරාගන්නටයි.

ඉතින් පුද්ගලික බජට් එකක් හෝ පවුලේ බජට් එකක් කියන්නේ මොකක්ද?

පුද්ගලික හෝ පවුලේ බජට් එකක් කියන්නේ ඔබගේ ආදායම්, වියදම් සහ ඉතුරුම් සඳහා සැලසුමක්.

නිසි විදියට මුදල් පාලනයට බජට් එකක් අපට උපකාර වෙනවා.

උදාහරණයක් ලෙස හිතමු ඔබ මාසෙක වියදම් ලියා අවසානයේ තේරුම් ගත්තානම් අනවශ්‍ය විදියට කඩ කෑම කාලා හෝ අනවශ්‍ය ඇඳුම් අරන් රුපියල් 2000ක් නාස්ති වුණා කියල, ඒ  ගැන මොනවද කරන්න පුළුවන්? දළ  වශයෙන් ඔබ සතියකට රුපියල් 500ක් අනවශ්‍ය ලෙස වියදම් කර තිබෙනව.

බජට් එකක්  හදලා ඔබ බලාපොරොත්තු වෙන්නේ මේ අනවශ්‍ය වියදම සීමා කරන්නයි. ඔබට පුළුවන් මීළඟ මාසේ කඩ කෑමේ බජට් එක රුපියල් 1500කට සීමා කරගන්නවා කියා සිතන්න. එතනින් රුපියල් 500ක් ඉතුරුයිනේ?

මුලින්ම අපි බජට් එක හදන්න පුහුණුවක් ලෙස පසුගිය මාසේ ආදායම් වියදම් ඉතුරුම් දෙස බලමු.

පියවර 1: ගිය මාසේ ඔබේ ආදායම කීයද?

පියවර 2: ගිය මාසේ ඔබ ඉතිරි කරපු මුදල කීයද?

පියවර 3: ගිය මාසේ වියදම් ලියාගැනීම

පළමු පියවර: ගිය මාසේ ඔබේ ආදායම කීයද?

මේ රැකියාවකින් ලැබෙන වැටුප හෝ වේතනය වෙන්න පුළුවන්. ස්වයං රැකියාවකින් හෝ ගෙදර කරන යමකින් ලැබෙන ලාභය වෙන්න පුළුවන්. රැකියා නැති අයට පවුලේ අය ලබාදෙන දීමනාවක් වෙන්න පුළුවන්. විශ්‍රාමික අයට ලැබෙන විශ්‍රාම වැටුප වෙන්න පුළුවන්. පිටරට ඉන්න ස්වාමියා හෝ බිරිඳ එවන මුදල් වෙන්න පුළුවන්. ස්ථාවර තැන්පතුවකින් මාසිකව ලැබෙන මුදලක් වෙන්න පුළුවන්. කුලී වැඩ හෝ වෙනත් රැකියාවක් කර දෛනිකව උපයාගත් මුදලක් වෙන්න පුළුවන්. නැතිනම් කෘෂිකර්මන්තයකින් එන මුදලක් වෙන්න පුළුවන්. එහෙමත් නැතිනම් කුලියට දුන් නිවසක් හෝ වෑන් එකක් හෝ ත්‍රී වීලරයකින් ලැබෙන මුදල වෙන්න පුළුවන්. ණය දීමෙන් ලැබෙන පොලිය වෙන්න පුළුවන්. සමුර්ධි හෝ වෙනත් දීමනාවක් වෙන්න පුළුවන්.

මේ කොයිකත් ඔබේ ආදායමක්.

මුලින්ම පසුගිය මාසේ ඔබේ ආදායම ලියන්න.

වැටුප් ලැබෙන අයට, ගෙවල් කුලී, වාහන කුලී, දීමන ලැබෙන අයට මේ වැඩේ පහසුයි .

දෛනික ආදායම් ලැබෙන අය දිනපතාම ලියාගන්න පුරුදු වෙන්න කොපමණ උපයාගත්තාද කියා. එවිට ඔබටත් පහසු වේවි බජට එකක හදාගන්න. වගා වලින් ආදායම් උපයන යට සිදු වෙනවා කන්නෙකට හෝ පලදාවකට වරක් ලැබෙන ආදායම, අදාළ මාස ගණනින් බෙදාගෙන දල වශයෙන් මාසික ආදායම ලියාගන්න.

මේ විදියට ගිය මාසේ ආදායම ලියාගත්තම බජට් එකේ තුනෙන් එකක් දැන් අවසන්.

දෙවැනි පියවර: ගිය මාසේ ඔබ ඉතිරි කරපු මුදල කීයද?

දැන් ලියන්න ගිය මාසේ ඔබ ඉතිරි කරපු මුදල කීයද කියලා. ලංකාවේ අපි බොහොමයක් අපේ ඔක්කොම ඉතුරුම් එක මුට්ටියේ තියාගන්නවා. ඔක්කොම ඉතුරුම් තියෙන්නේ ඉතුරුම් ගිණුමේ. ඉතුරු කරන අය බහුතරය එහෙමයි.

නමුත් හැම දෙනාවම ගත්තොත් බහුතරයක් අය, විශේෂයෙන්ම විවාහක නොවූ තරුණ අය, ළඟදී රැකියාවක් පටන්ගත් අය මාසෙකට ශතයක්වත් ඉතුරු කරන්නේ නැහැ. මේ අයත් සත්‍යයෙන්ම ආදායම ප්‍රමාණවත් නොවන නිසා ඉතිරිකිරීම අභියෝගයක් වන අයත් කාණ්ඩ දෙකක්. එක කට්ටියකට මුලික අවශ්‍යතා සපුරගන්නවත් ආදායමක් නැහැ. අනික් කට්ටියට මුලික අවශ්‍යතා සියල්ල සපිරී තිබුණත් මාසික ආදායමෙන් සතයක්වත් ඉතුරු කරගන්න බැහැ.

ඔබත් එහෙමද? එහෙමනම් ඉතින් ඔබ වෙනස් වන්න. නැතිනම් කවදාවත් ඔබේ ජීවන සිහින සාර්ථක කරගන්න බැහැ.

ඉතුරු කරන අය සමහරු එම මුදල් නැවත ණයට දෙනවා. නැතිනම් රත්තරන් බඩු වල ආයෝජනය කරනවා. ළමයි ඉන්න දෙමපියෝ කීයක් හරි දරුවන්ගේ ඉතුරුම් ගිණුමට දමන්න උත්සාහ කරනවා. මේ අතරින් කිහිපදෙනෙන් තමන්ගේ ඉතුරුම් වෙනත් ගිණුමකට දමනවා නැතිනම් ස්ථාවර තැන්පතුවක දමනවා. නැතිනම් සීට්ටුවක දමනවා. එහෙම නේද?

දැන් ලියන්න ඔබේ ගිය මාසේ ඉතුරුම. ඇඟලුම් කර්මාන්තයේ වැඩ කරන බොහෝ කාන්තාවන් මුදල් ඉතිරි කරන්න උනන්දුයි. ඒත් බොහෝ දෙනෙකුට මේක අභියෝගයක්. ඒ වුණත් කොහොමහරි වැටුපෙන් රුපියල් 1000ක් 2000ක් 5000ක්, 10,000ක් ඉතුරු කරන අයත් ඉන්නවා. ඒගොල්ලොත්, සතයක්වත් ඉතිරි නොකරන වැඩි දෙනෙකුත් අතර වෙනස අධිෂ්ඨානයක් හෝ සිහිනයක් නොතිබීම.

නමුත් දෙමාපියන්ගෙන් කකා බිබී ගෙදර ඉඳන් ශතයක්වත් මාසෙකට ඉතුරු නොකරන බොහෝ අයත්  මට හමු වෙනවා. මොනවටද පඩිය ගියේ කීවොත් දන්නෙත් නැහැ. ඉතින් ඔබ මේ ගනේට වැටෙන්න එපා. වැටිලානම් ඉන්නේ, අදම, මේ සතියෙම, මේ මාසෙන්ම ඒ තත්වය වෙනස් කරගන්න තදින්ම අධිෂ්ටාන කරගන්න.

තෙවැනි පියවර: ගිය මාසේ වියදම් ලියාගැනීම

තෙවන පියවර තමයි ගිය මාසේ වියදම් ලියාගැනීම.

මේ විදියට වියදම් ලැයිස්තුවක් හදාගන්න පුළුවන්. දියුණුව බ්ලොග් එකෙන් මේ සඳහා ආකෘතියක් බාගන්න (ඩවුන්ලෝඩ් කරගන්න)ඔබට පුළුවන්.

ගිය මාසේ ඔබේ වියදම් මොනවාද?

ඔබ මා ආකෘතියේ දක්වා ඇති ආකාරයට ඔබේ ගිය මාසේ වියදම් සියල්ල ලැයිස්තුගත කරන්න.

සමහර විට කෑමට කොපමණ වැය වුණාද ඇඳුම් පැළඳුම් වලට කීයක් ගියාද යනාදී ලෙස හරියටම ලියන්න ඔබට බැරි වේවි. ඔබ ඔබේ දෛනික වියදම් ලියාගන්න පුරුද්ද ඇති කරගන්න. අද සිටම එය අරඹන්න. එසේ මාසයක් කරලා අවසානේ ඔබට මේ ආකෘතිය හරියටම සම්පුර්ණ කරගන්නට හැකි වේවි. එසේ වුනාට පසුව තමයි ඔබට හරි හැටියට පුද්ගලික හෝ පවුලේ බජට් එකක් හදාගන්නට හැකි වෙන්නේ. එදින වෙනකල් ඔබේ දෛනික වියදම් ලියාගැනීම අදම අරඹන්න.

ඔබට ඔබේ අනාගතය දියුණු කරගන්න වුවමනාව තිබේනම් දෛනික වියදම් ලිවීම අදම කළ යුතුයි. එහෙම විශේෂ උවමනාවක් නැතිනම් ඔබට මම මගේ තවත් කෙටි වීඩියෝවක් බලන්න ආරාධනා කරනවා. ඒකේ නම ඔබ දියුණු වෙන්න අකමැතිද? යන්නයි. දියුණු වෙන්න උවමනාවක් නැති විදියට ඉන්න කොයි කාටත් හොඳයි එය නැරඹීම.

ඔබ මේ වීඩියෝවට කැමතිනම් එයට LIKE එකක්දී ඔබේ හිතමිතුරන් හා SHARE කරන්න. ඔබට ඒ සම්බන්ධව ඇතිවන ගැටළු comment වල දමන්න. හැකි ඉක්මනින් ඒ සැමට පිළිතුරු දෙන්න උත්සාහ කරන්නම්.

දියුණුවේ මගට පිවිසෙන්නට සහ පුද්ගලික මුදල් පාලනය දියුණු කරගන්නට අවශ්‍ය ඔබ අදම දියුණුව YouTube චැනලයට පිවිස මා කියූ අනිත් වීඩියෝ නරඹන්න. අදම දියුණුව YouTube චැනලයට subscribe කර අපේ අනාගත වීඩියෝ ගැන දැනුවත් වන්න.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: