VIDEO: COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? How Do You Perform PCR Testing for COVID-19?

COVID -19 සඳහා PCR පරීක්ෂණ කරන්නේ කොහොමද? කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨයේ ආචාර්ය ධර්ශන් ද සිල්වා ගෙන් අසා දැනගමු

How Do You Perform PCR Testing for COVID-19? We asked Dr Dharshan De Silva of the Kotelawala Defence University Faculty of Medicine


දියුණුව: කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ COVID-19 සඳහා PCR ටෙස්ට් කරන්නේ කවදා සිටද?

පිළිතුර: අපි COVID-19 සඳහා පරීක්ෂණ ආරම්භ කළේ 2020 අප්‍රේල් 10 වෙනිදා.

දියුණුව: එයට පෙර ඔබේ PCR අත්දැකීම් කොපමණද?

පිළිතුර: මම ඇමරිකාවේ සිටපු කාලයේ, 1990 දශකයේ අග භාගයේ සිටම විවිධ පර්යේෂණ කටයුතු සඳහා PCR ක්‍රමවේදය යොදාගත්තා. ලංකාවේ මා යටතේ තිබු පර්යේෂණාගාරවල ඩෙංගු, ක්‍ෂයරෝගය, මෙලියොඩයිසිස් වැනි වයිරස සහ බැක්ටීරියා සඳහා පර්යේෂණවලට PCR තාක්ෂණයේ වඩාත් දියුණු සහ කාර්යක්ෂම ක්‍රමවේදයක් වන RT- PCR නොහොත් Real Time PCR  යොදා ගැනුණා. දැනටත් දැනටත් අපි මේ පර්යේෂණ කරනවා.

දියුණුව: අපි මාධ්‍ය වලින් දකින්නේ සාම්පල් ගන්න විදිය. ඔබ PCR පරීක්ෂණ  වාර්තාවක් ඉදිරිපත් කරන්නට පෙර සිදුවන දේ අපට පැහැදිළි කර දෙන්න.

පිළිතුර: අපට මේ සාම්පල  ලැබෙන්නේ ටියුබ සහ දවටන තුනක් තුළ බහා ඉතා ආරක්ෂිත ලෙස. අපි එම සාම්පල විවෘත කරන්නේ ජීව ආරක්ෂක දෙවන මට්ටමේ, එනම් biosafety Level 2, කුටීරයක් තුළ, ආරක්‍ෂිත ඇඳුම් ඇඳගෙනයි. එසේ විවෘත කරන සාම්පලයෙන් කොටසකට මුලින්ම අපි Lysis Buffer නම් රසායන ද්‍රව්‍යයක් එක කරනවා සෛලවල සහ වයිරසයේ පිටත බිත්තිය බිඳලීමට සහ එයින් RNA වෙන්කර ගැනීමට. මෙහිදී අපි RNA වෙන් කරගැනීමට ටෙස්ට් කිට් එකක් භාවිතා කරනවා. ඉන්පසුව RT-PCR ක්‍රියාවලිය සඳහා එය සුදානම් කිරීමට අපි එයට ප්‍රතික්‍රියා ද්‍රාවණයක් එක් කරනවා. ඉන්පසුව තමයි RT-PCR යන්ත්‍රයේ දමන්නේ. එහි ක්‍රියාකාරීත්වය අවසානයේ අපට පෙනී යනවා එම වයිරසය සාම්පලයේ තිබේද නැතිද යන වග.

පිළිතුර: අපි මේ ප්‍රතිපල නිකුත් කරන්නේ molecular biologist, microbiologist සහ virologist යනාදී විශේෂ දැනුමක් සහිත දෙදෙනෙක්ගේ අත්සන් සහිතවයි.

දියුණුව: සමහර විටදී PCR පරීක්ෂණවලදී වැරදි ප්‍රතිපල ලැබෙන්නේ ඇයි?

පිළිතුර: ඉහත මා සඳහන් කළ විවිධ පියවර ඉතාම ප්‍රවේශමෙන්, ඒ සඳහා වන විද්‍යාත්මක ක්‍රමවේද අකුරටම නිවැරදිව අනුගමනය කරමින් සිදු කළ යුතුයි. නැතහොත් වැරදි ප්‍රතිපල, නැතිනම් false positives හෝ false negatives, එන්න පුළුවන්. ක්‍රමවේද හරිහැටි අනුගමනය නොකර පරීක්ෂණ කළොත් වෙනත් වයිරස සාම්පලයකින් contaminate වීමේ අවස්තාව තිබෙනවා. ප්‍රවේසම වැදගත් වන්නේ මෙනිසා.

තවත් හේතුවක් තමයි අපි භාවිතා කරන ටෙස්ට් කිට් සියල්ල එක සමාන නැහැ. එනිසා සැමවිටම අලුත් ටෙස්ට් කිට් භාවිතාවට පෙර එය නිසි ලෙස ක්‍රියාත්මකවේද යන්න සොයාගැනීමට එය validate කළ යුතුයි. එසේ නොකළොත් වැරදි ප්‍රතිපල එන්න පුළුවන්.

කොපමණ ප්‍රවේසම් වුණත් මේ වැරදි සිදු වීමේ සුළු හෝ සම්භාවිතාවක් තියෙන නිසා තමයි ශ්‍රී ලංකාවේ COVID-19 රෝගියෙක් රෝහලෙන් පිටත් කිරීමට පෙර අවම වශයෙන් දෙවතාවක් පරීක්ෂණයට ලක් කරන්නේ.

දියුණුව: COVID-19 රෝග ලක්ෂණ නැති නමුත් රෝගය ශරීරගත වූ අයව හඳුනාගන්නේ කෙසේද?

පිළිතුර: ඒ අයවත් හඳුනාගන්නේ අනික් අයව වගේම RT-PCR පරීක්ෂණයකින්.

දියුණුව: ශ්‍රී ලංකාවේ ඉතා අඩු COVID-19 මරණ ප්‍රතිශතයට හේතුව කුමක්ද?

පිළිතුර: හේතු රැසක් තිබෙනවා. එයින් වැදගත්ම එකක් තමයි අපි රෝගීන් ලෙස හඳුනාගත් අය හැමෝවම ගෙදර නොයවා, වෛද්‍ය නිරීක්ෂණය යටතේ රෝහල් වල තබාගැනීම. එවිට ඔවුනගේ සිදුවන සුළු වෙනස්වීමකට පවා අවශ්‍ය අවධානය ලබාදෙන්න හැකි වෙනවා. මෙනිසා අපට වෙන්ටිලේටර් වලට දමන්න සිදුවුනේ අතලොස්සක් පමණයි. මරණයට පත් වූ අය වැඩි දෙනෙක් වෙනත් රෝග සහිත, එමගින් එන සංකුලතා නිසා මරණයට පත්ව ඇති බව.

දියුණුව: අප ශ්‍රී ලංකාවේ යොදාගත් ප්‍රතිකාර කිරීමේ ක්‍රමවේද වලින් ලෝකෙයේ අනෙක් රටවල් වලට ඉගෙනගන්නට හැකි මොනවාද?

පිළිතුර: COVID -19 සඳහා ප්‍රතිකාරයක් තවම සොයාගෙන නැහැ. මෙහිදී වයිරස වසංගත පාලනයට ඉතාම වැදගත් වුයේ, අපේ නායකත්වය වසංගතයේ බරපතලකම කළින්ම හඳුනාගෙන අපේ රට සුරක්ෂිත කරන්නට ගත්තු පියවර.

අපි ලංකාවට වසංගතය එන්නට පෙරම ඒ සඳහා ක්‍රියාත්මක වුණා. රෝගය බහුල යයි දන්නා රටවල සිට එන අයව නිරෝධායනයට යොමුකළා. ඉන් පසුව ඉක්මනින්ම ගුවන්තොටුපොළ වැසුවා. අතරමැද ආ සියල්ලන් නිරෝධයනයට ලක් කළා. ත්‍රිවිධ හමුදාවල පාලනය යටතේ නිරෝධායන මධ්‍යස්ථාන රැසක් හදාගත්තා. වරායවල්  වගේම රට වටා වෙරල තීරයත්  සුරක්ෂිත කළා. පාසල් වසා දැම්මා. රැකියාස්නථාන වසා දැම්ම. ඇඳිරිනීතිය යොදාගෙන ජනතාව අනවශ්‍ය ලෙස එකතුවීම සහ එහා මෙහා යාම නැවැත්වුවා. මේ අතරම මාධ්‍ය තුලින් සෞඛ්‍යාරක්ෂිත පියවර ගැන ජනතාව දැනුවත් කළා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන්නටත් පෙර අපි මුඛ ආවරණ යොදාගැනීම ඇරඹුවා.

එලෙසම, රෝගීන් ලෙස හඳුනාගත් අය ආශ්‍රය කළ හැම දෙනාවම සොයාගෙන ස්වයං නිරෝධායනයට ලක් කරන්නට මහජන සෞඛ්‍ය නිලධාරීන්, පොලිසිය සහ ත්‍රිවිධ හමුදා උපකාරයෙන් දැවැන්ත මෙහෙයුමක් දියත් කළා.  මෙය රට තුළ වසංගතය පැතිරීම බොහොම දුරට සීමා කරගන්නට හැකි වුන ප්‍රබල හේතුවක්. ඇමරිකාව, එංගලන්තය වගේ රටවල් දැනුයි හොයන්නේ මේ contact tracing හරියට කරගන්නේ කොහොමද කියා.

ඉහත ක්‍රියාමාර්ග නිසා අපේ රෝහල්වලට, අපේ දැඩි සත්කාර ඒකක වලට අනිසි බරක් ආවේ නැහැ. රෝහල් අසාධ්‍ය ලෙඩුන්ගෙන් පිරුණේ නැහැ. එනිසා තමයි සුළුවෙන් හෝ රෝග ලක්ෂණ සහිත හැමෝටම නිසි සේ අවධානය දී ඔවුන් සුව කරගන්නට අපගේ සෞඛ්‍ය සේවයට හැකි වුනේ.

අනෙක් රටවල බොහෝ දෙනා මියගියේ ඔවුනගේ සෞඛ්‍ය සේවාවලට එන රෝගීන් සංඛ්‍යා දරාගන්නට නොහැකි වූ නිසා. එසේ වුනේ ජනතාව අතර රෝගය පැතිරීම පාලනයට අප ගත් පියවර නිසි කලට අනෙක් රටවල නොගත් නිසා.

දියුණුව: දකුණු ආසියානු ජනතාවට COVID -19 බෝවීමේ හැකියාව වැඩියි (vulnerable) කියා බ්‍රිතාන්‍යයේ කියනවා.  මේ ගැන යම් පර්යේෂණ කර තිබේද?

පිළිතුර: මා දන්නා තරමින් ලංකාවේ මෙවන් දෙයක් කර නැහැ. ඔය කියන රටවලත්, විශ්වාස කළ හැකි, නිවැරදි දත්ත ලබාගත හැකි මට්ටමේ එවන් පර්යේෂණ කර ඇති බව මා සිතන්නේ නැහැ.

බොහෝ බටහිර රටවල සිටින දකුණු ආසියාතික පිරිසගෙන් වැඩි හරියක් කරන රැකියා, ඔවුනගේ ජීවන රටා සහ ඔවුන් බොහෝ දෙනෙක් අතර බහුලව පැතිර ඇති දියවැඩියාව වැනි සංකුලතා ගෙනෙන රෝග මෙයට හේතුවක් කියා අනුමාන කරන්න පුළුවන්.

දියුණුව: මේ වසංගතය නැවතීම සඳහා herd immunity නොහොත් ප්‍රජාව තුළ ප්‍රතිශක්තියක් බිහිවීම අවශ්‍යද?

පිළිතුර: රෝගය ප්‍රජාව තුළ පැතිරීම අඩුවීමට හෝ නැවතීමට ප්‍රජාව තුළ ප්‍රතිශක්තියක් තිබිය යුතුයි. එය ස්වභාවයෙන් එනවිට තමයි herd immunity කියන්නේ. එකට ඉතින් හැමෝටම වගේ රෝගය වැළදෙන්න ඕනේ. නැතිනම් ප්‍රතිශක්තිය එන්නතක් මගින් හැමෝටම ලබාදෙන්න ඕනෑ.

දියුණුව: උෂ්ණත්වය සහ ආර්ද්‍රතාවය (humidity) වයිරසයේ බලපෑම් දුර්වල කරනවාද?

පිළිතුර: උෂ්ණත්වයට සහ හිරු එළියට හැකියි වයිරසය යම් මතුපිටක් මත තිබෙන විට එය විනාශ කරන්නට. අපේ රටේ නිවෙස් වැඩි ගණනක වායු සමීකරණය නොමැති වීමත් නිවෙස් පරිසරයට  විවෘතව තිබීමත් රෝගය බෝ වීම අවම කරන්නට බලපාන්න ඇති. සංවෘත, වායු සමීකරණය කල පරිසර වල රෝගය වැඩියෙන් බෝ වෙන බව පෙන්වා දී තිබෙනවා.

2020-07-13

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: