නව මුහුණුවරකින් ඔබ වෙත එන සියවස් සපිරි පුරාණ ව්‍යාපාරය – මග්ගොන මෝනිස් බේකරිය

තාත්තා මට ගෙනැවිත් දුන් පොදියෙහි පාන් විස්කෝතු, සීනි විස්කෝතු, ලෑත්තර හා ඇතැම්විට සීනිබෝල ද වී ය. මා පාන් පෝරනුවල  සාදනු ලබන “රස්ක්” විස්කෝතු කෑමට රුසියකු වූයේ අර ඇබ්බැහිකම නිසාද? මම දැනුදු මග්ගොන මොනිස්ගේ විස්කෝතු හැමදා උදය වරුවේ කන්නෙක්මි. රටින් ගෙන්වනු ලබන හැම ටින් විස්කෝතු වර්ගයන්ට වඩා “මෝනිස්ගේ” පාන් විස්කෝතු මටනම් රසවත් ය. මොනම රට විස්කෝතුවක් වුවද මා දැන් කලා කලාතුරකින් කන්නේ වැඩි කැමැත්තෙන් නොවේ.

උපන්දා සිට – මාර්ටින් වික්‍රමසිංහ, 1961, තිසර ප්‍රකාශකයෝ

කොළඹ ගාල්ල මහා මාර්ගයේ ගමන් කරන බොහෝ දෙනකුට සුපුරුදු නමක් මග්ගොන මෝනිස් බේකරිය. බොහෝ දෙනකු මෝනිස් බේකරියට යන්නේ විශේෂ අවශ්‍යතාවයක් සපුරාගන්න නොවෙයි. පරම්පරා ගණනක් පුරා කළ දෙයක් නිසාම පුරුද්දටයි. අපේ අම්මලා තාත්තලා මෝනිස් බේකරියට ගියේ ආච්චිලා සීයලා ගිහින් පුරුදු නිසා, අපි යන්නෙත් ඒ නිසාමයි.

අත්වැල අප මෝනිස් බේකරිය ගැන විස්තර හොයන්න තීරණය කළේ පැරණි ව්‍යාපාර යටතේ ලිපියක් පිළියෙල කර ඒ ගැන පාඨක ඔබ දැනුවත් කරන්නයි.

තුන්වැනි පරම්පරාව විසින් පවත්වාගෙන යන මෝනිස් බේකරිය මූලාරම්භය ගැන දැනගන්න අප කතා කළේ මෝනිස් බේකරි ඇන්ඩ් කන්ෆෙක්ෂනරි (ප්‍රයිවට්) ලිමිටඩ්හි අධ්‍යක්ෂ බෝගහවත්තේ දයාරත්න ප්‍රනාන්දුට.

ඉතින් මේ පරම්පරා තුනක හතරක දිව පිනවන්න මෝනිස් බේකරියේ හදන්නේ මොනවාද? අපි මෝනිස් බේකරිය පවත්වාගෙන යන තුන්වෙනි පරම්පරාවෙන් ඇහුවා.

“අපේ ප්‍රධාන ආහාර නිෂ්පාදන වර්ගය වන්නේ මෝනිස් රස්ක්ස්. මේවා හුලං විස්කෝතු හෝ බටර් විස්කෝතු ලෙසත් හඳුන්වනවා. ඊට අමතරව අපේ රුලං බොරොවා, ඉඟුරු ඇඟිලි, වයින් ඩ්‍රොප්ස්, වයින් බිස්කට්, ඥානකතා, පොල් බිබික්කන් යනාදියටත් ලොකු ඉල්ලුමක් තියෙනවා.

“මෝනිස් බේකරිය පටන් ගන්නේ අපේ සීයා බී. මෝනිස් ප්‍රනාන්දු. සුළුවෙන් ආරම්භ කරලා තියෙන්නේ 1896 වසරේදී. මග්ගොන ඔහුගේ උපන් ගමයි. මුලින් පටන් අරගෙන තියෙන්නේ පාන් පුළුස්සන්න. ඊට අමතරව අවට පාසල්වලට බනිස් සැපයීමටත් පුරුදු වෙලා සිටියා.”

ඔබට සීයාව මතකද? අපි විමසුවා.

“මට සීයා මතක නැහැ. ඔහු නැති වෙලා තියෙන්නෙ 1951 ජූනි මාසෙ 23 වෙනිදා. ඒ මම ඉපදෙන්න කලින්.

“මට මතක කාලේ ව්‍යාපාරය කරගෙන ගියේ මගේ පියා බී. ජෝන් ප්‍රනාන්දු. මගේ පියාට තව සහෝදරයින් දෙදෙනෙකුයි සහෝදරියෙකුයි හිටියා. ඔහු පවුලේ බාලයා. සීයා ඉන්න කාලෙත් ව්‍යාපාරයට වැඩිපුර හවුල්වෙලා තිබුනේ ඔහු තමයි. සීයා නැති වුණාට පස්සේ තාත්තගේ තවත් සහෝදරයෙක් මේ නමින්ම මෙවැනිම ව්‍යාපාරයක් කළා දැන් ඒක නැතිවී ගිහිල්ලා.

“මට මතකයි 1960 ගණන්වල තාත්තා ඉස්කෝලවලට බනිස් බෙදා හැරිය බව, මීට අමතරව ඥානකතා සව්බොර වගේ දේවලුත් නිෂ්පාදනය කළා.  ඉස්සර දැන් වගේ නෙවෙයි බිස්කට් හදලා ලොකු ටින්වල රැස් කරගෙන හිටියා. විකුණුවේ බෑග්වල දාලා.”

MonisBagAd

දයාරත්න ගේ බිරිඳ ස්වර්ගිකා මේ වෙලාවේ ඉස්සර ටින්වල පිටපැත්තේ ඇලවූ ලේබලයක් සහ මෝනිස් බේකරිය නම මුද්‍රිත පැරණි බ්‍රවුන් පේපර් බෑගයක් අපට පෙන්නුවා. (මේ බෑගයේ රූපයක් අප ඔබේ දැනගැනීම සඳහා ලිපියේ ඇතුලත් කරනවා).මෝනිස් වෙළඳ නාමය වසර 100කින් ඔබ්බටත් ගෙන යන්න පුළුවන් කමක් තුන්වන පරම්පරාවට ලැබිලා තියෙන්නේ හුදු වාසනාව නිසාම පමණක් නොවන බව අපට තේරුම් ගියේ මේ බෑගය නෙත ගැටීමෙන් පසුවයි.

තම කීර්ති කීර්තිනාමය රටපුරා ප්‍රචලිත කරන්න ඒ කාලේ හිටන්ම මෙවැනි ප්‍රායෝගික ක්‍රම පැරණි ශ්‍රී ලාංකික ව්‍යාපාරිකයින්ගේ දූරදර්ශී නුවණැසට හසු වුන බව දැනගැනීමෙන් අපි මහත් සතුටට පත් වුණා.

දුර ගමන් ගොස් නිවසට පැමිණෙන තම පියාගේ හෝ නෑදෑයින්ගේ දෑතේ මෙවන් බෑගයත් දැකීම ලාංකික දරු පරම්පරා කීයක සිත් පිනවීමට හේතු වෙන්න ඇත්දැයි අපට මේ වෙලාවේදී හිතුනා.

“මගේ අම්මා කැලණියේ ඇන්. බී ලුවි නෝනා. ඈ ව්‍යාපාරයට සම්බන්ධ වෙලා පියාව තවදුරටත් උනන්දු කළා. ව්‍යාපාරයේ කටයුතු කරගෙන ගිය ආකාරය වෙනස් වීමට ඇගේ මැදිහත් වීම බොහෝ දුරට බලපෑවා.”

කොයි වගේ වෙනස් වීම්ද? අප ඇසුවා.

“නව නිෂ්පාදන හඳුන්වා හඳුන්වාදීම, නිෂ්පාදන ප්‍රමාණය වැඩි කිරීම වගේ දේවල්. අම්මාගේ සම්පූර්ණ ශ්‍රමය වැය කළේ ව්‍යාපාරය වැඩකටයුතුවලට. සම්පූර්ණ වගකීම කරට ගෙන ඉතාමත් ධෛර්යමත් ලෙස ඇය පැරණි ගොඩනැගිල්ල හා ව්‍යාපාරය නගා සිටෙවුවා,” දයාරත්න කීවා.

“උදාහරණයක් වශයෙන් ඉස්සර හැදූ සවු බොරොවා වෙනුවට රුලන් බොරොවා හදන්න පටන් අරන් තියෙන්නෙ අම්මාගේ මැදිහත් වීම නිසා.”

ඔබ ව්‍යාපාරයට සම්බන්ධ වුණේ කොහොමද? කොයි කාලේද?

“මම අවුරුදු පහළොවේ පමණ කාලේ ඉඳන් ව්‍යාපාරයේ  කටයුතුවලට අත ගැහුවා. මගේ පවුලේ අපි තුන්දෙනෙක් හිටියා. මම බාලයා. අක්කා මේ කටයුතුවලට සම්බන්ධ වුණේ නැහැ.

“තාත්තා මා පාසැල් යන කාලයේදී අසනීප වුණා. මාත් අයියත් ව්‍යාපාර කටයුතු කරගෙන යන්න අම්මාට උදව් වුණා. මම නිතරම බේකරියේ සේවක පක්ෂය හා සිටිමින් එහි වැඩකටයුතුවලට හුරු උනා. කඩයේ එකතැන සිටිමින් වෙළෙඳ කටයුතු කිරීමට කුඩා අවධියේ සිටම මා එතරම් කැමති වුණේ නැහැ.

“මම ඉගෙන ගත්තෙ කළුතර මහා විද්‍යාලයේ. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව එයින් ඉවත් වී සංගීත කණ්ඩායමක් දැම්මා. මම එහි ඩ්‍රම්ස් වාදනය කළා. රාත්‍රී කාලයේ හෝටල් වල ගොස් සංගීත කටයුතු කළා. දහවල් කාලයේ හැකි හැම විටම මා නිෂ්පාදන කටයුතුවලට සහාය වුණා.

“ඒ 1972 දී පමණ. එසේම කරාටේ පාඨමාලාවක්ද ඉගෙන කළු පටිය ලබා ගත්තා. ඒ දිනවල සිට මට මිතුරන් බොහෝ සිටියා. අදත් ඒ මිතුරු කැල ලංකාවේ සෑම දෙසම පාහේ විසිරී සිටිනවා. ව්‍යාපාරයට සම්පූර්ණයෙන්ම කැප වෙන්නේ හිතුවේ විවාහයෙන් පස්සේ. එතකොට වගකීම්ද වැඩියි. ස්ථාවර භාවයක්ද අවශ්‍යයි  නේ,” දයාරත්න තම බිරිඳ දෙස හැරී සිනාවෙමින් කීවා.

ඔවුන් හා කතාවේ යෙදී සිටියදී අපට පෙනීගියා එය තව දුරටත් ඔහුගේ ව්‍යාපාරය නොව ඔවුන් දෙදෙනාගේම ව්‍යාපාරයක් වී ඇති බව. ඒ නිසා ස්වර්ගිකා ගැනත් අපි විස්තර ඇහුවා.

“මම කළුතර ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ ඉගෙනුම ලැබුවා. පසුව යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ වසර තුනක් ඉගෙනුම ලැබුවා. කටු චිකිත්සා විභාගයද සමත් වුණා.

“මේ සියල්ල අතහැර 1982 දී අපි විවාහ වුණා. මා දැනගෙන හිටියා මේ සියල්ලටම වඩා මේ ව්‍යාපාරය තුළින් වඩා සේවයක් කළ හැකි බව හා ව්‍යාපාරය දියුණු කිරීමට අපි දෙන්නා එක් වුනොත් පුළුවන් බව. මා සිටියේ අල්ලපු ගෙදර ඒ නිසා මෙම ව්‍යාපාරය ගැන මා දැනගෙන සිටියා. ව්‍යාපාරික පවුලකින් නොවුනත් මෙම ව්‍යාපාරය කටයුතු මට අලුතින්ම පුරුදු වෙන්න ඕන වුණේ නැහැ.

“අපිට ව්‍යාපාරය සඳහා තිබුණේ සුළු ඉඩ ප්‍රමාණයක්. මෙය තේරුම් ගත් මගේ පවුලේ අය අපට සහාය දීමක් වශයෙන් ඔවුන් සතු ඉඩම් අපිට දුන්නා. දැන් හදන නව ගොඩනැගිල්ල හදලා තියෙන්නේ අපි දෙන්නාගේම පාරම්පරික ඉඩම් යා කරලා ඒ ගැන අපි දෙන්නාම ආඩම්බර වෙනවා.”

දයාරත්න කතා කරමින් “අයියටත් මටත් තාත්තගෙන් අයිති වී තිබුණ සම්පත් හුවමාරුවකින් පසුව මට ඉතිරි වුණේ පැරණි මෝනිස් බේකරිය පිහිටි ව්‍යාපාරික ස්ථානයත් කීර්ති නාමයත් විතරයි.

“එම සීමිත සම්පත්වලින් අපි සෑහීමට පත් වුණේ අපි දෙන්නට එමගින් දියුණු වීමේ හැකියාව තිබෙනවා කියන ආත්ම විශ්වාසය අප තුළ තිබූ නිසයි. නමුත් කිසිම ආර්ථික ශක්තිමත් බවක් අපිට තිබුණේ නැහැ. ඒ වෙනකොට අපට දරුවන් දෙන්නෙක් හිටියා. ඒ දෙන්නාටයි අපටයි ඉන්න තිබුණේ කඩයත් බේකරියත් අතර පුංචි ඉඩක්.”

“මුදල් නොතිබුණාට අපට හිත මිත්‍රයෝ හිටියා,” ස්වර්ගිකා කීවා. “අපි මුලින්ම අපේ කඩේ පටන් ගත්තේ ඒ යාළුවෙකුගෙන් ණයට ගත්තු පිටි ගෝනියකින්.”

“ඒ අය දැනුත් ඉන්නවා,” දයාරත්න ඒ කතාවේ ඉතුරු ටික සම්පූර්ණ කළා.

“අපි මුලින්ම කඩේ පටන් ගත්තේ 1985 මැයි 6 වැනිදා ප්‍රශ්න ගොඩක් මැද. ඒ වෙනකොට ව්‍යාපාර ඉතාම පහළ තත්වයක තිබුනේ.

“අපි මුල ඉදන්ම කැප වුණා, මහන්සි වුනා අපේ ව්‍යාපාරය ගොඩනඟා ගන්න. විනෝද ගමන්, විවාහ මඟුල්, අවමඟුල් යනාදී බොහෝ දේවලට නොයා හිටියා. සමහර යහළුවෝ, නෑදෑයො තරහ වුණා. අනෙක් අය මේ ගැන තේරුම් ගත්තා.”

“අපි මුල ඉදන්ම කැප වුණා, මහන්සි වුනා අපේ ව්‍යාපාරය ගොඩනඟා ගන්න.
විනෝද ගමන්, විවාහ මඟුල්, අවමඟුල් යනාදී බොහෝ දේවලට නොයා හිටියා.
සමහර යහළුවෝ, නෑදෑයො තරහ වුණා.
අනෙක් අය මේ ගැන තේරුම් ගත්තා.

“ඒ කාලේ රෑට නිදා ගත්තෙ පැය දෙකයි තුනයි. රෑ එකොළහට දොළහට නිදාගෙන උදේ පාන්දර දෙකට තුනට නැගිටින්න පුරුදු වුණා. හරියට ඉන්න තැනකුත් තිබුණේ නැහැ. අපිට මේ කාලෙ ණයක් දෙන්න කවුරුවත් ඉදිරිපත් වුණේ නැහැ. ඉතාම සුළුවෙන් කර නිසා ව්‍යාපාරය දිගටම කරගෙන යාවි කියලා කවුරුවත් බලාපොරොත්තු වුණේ නැහැ.

“හරියටම වෙලාවට වගේ මේ කාලෙම අම්මා මා නමින් ආරම්භ කර තිබූ රක්ෂණ වරමකින් රුපියල් තිස් පන්දාහක් ලැබුණා. ඒත් සම්පූර්ණ කොස් ලීයෙන් හැදිය යුතු පාන් මේසයටයි , පොල්ගාන මැෂින් දෙකකටයි ගෙව්වට පස්සෙ අතේ යමක් ඉතිරි වුණේ නැහැ.

“අපේ ව්‍යාපාරය පුද්ගලික සමාගමක් ලෙස ලියාපදිංචි කළේ 1986 දී. අපි දෙන්නා එහි අධ්‍යක්ෂවරු. වෙන කොටස්කරුවන් කවුරුත් නැහැ. අපි හෙමින් සැරේ ව්‍යාපාර කටයුතු ගොඩනඟා ගත්තා 1986 අවසානය වන විට කඩේ පැත්තකින් මේස දෙක තුනක් දාලා තේ සහ කෑම වර්ග දෙන්න පටන් ගත්තා. යම් තරඟකාරිත්වයක් තිබුනා. ඒත් මේ වන විට අපේ නිෂ්පාදන බෙදා හැරීමේ කටයුතු ආරම්භ කර තිබූ නිසා අපට කිසියම් සහනයක් තිබුණා.”

කඩවලට නිෂ්පාදන බෙදාහැරීම ආරම්භ කළේ කොයි කාලෙද?

“සීයගෙ කාලෙවත් තාත්තගේ කාලෙවත් මේ ගැන කටයුතු කරලා තිබුණේ නැහැ. ඉස්සර හිටන්ම විශේෂ ගනුදෙනුකරුවන්ට කෝච්චියේ දමලා නිෂ්පාදන යවන පුරුද්දක් තිබුණා. සීයලා තාත්තලා ව්‍යාපාරය ව්‍යාප්ත කරන්න ඒ තරම් උනන්දු වෙලා නැහැ.

“ඊටත් වඩා එයාලගේ ගනුදෙනුකාරයෝ එයාලා ලඟටම ආවා. ඉතින් සොයා යන්න අවශ්‍යතාවය අඩුයි. ඔවුන්ට වුවමනා වුණේ ව්‍යාපාරයේ කීර්තිනාමය නැති නොවී ආරක්ෂා කිරීමයි.

“එදා මෙදා පටන් අපට විවිධ තරාතිරම් වල ගනුදෙනු කාරයන් ඉඳලා තිබෙනවා. හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා අපේ ඉඟුරු ඇඟිලි වලට විශේෂ කැමැත්තක් දැක්වූවා. හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා අපේ කඩේ ඇතුලටම ඇවිත් අප සමග සුහදව කතාබහ කරලා තියෙනවා.

“වර්තමාන ජනාධිපතිනියද අගමැතිනිය ද මෙම ගාල්ල කොළඹ මාර්ගයේ කොතැනකට හෝ ගියත් සුළු මොහොතක් මෙහි නවතා බිස්කට් වර්ග රැසක් ගෙන යාමට අමතක කරන්නේ නැහැ අපි එක දේශපාලන පාටකට සීමා වුණේ නැහැ.

“පාට මොකක් උනත් අපි ඔවුන්ව සුහදව පිළිගන්නවා. ව්‍යාපාරයක් වශයෙන් දේශපාලනයේ දී පැත්තකට බර නොවන එක මුල හිටන්ම අපේ පුරුද්ද.”

අත්වැල ව්‍යාපාරික සඟරාවේ අප මේ ප්‍රතිපත්තියට සම්පූර්ණයෙන්ම එකඟ වුණේ අපේ ප්‍රතිපත්තිය ප්‍රතිපත්තියත් මේකම වන නිසාය.

“තරගකාරිත්වයට මුහුණ දීමට අවශ්‍ය ම නිසා තමයි භාණ්ඩ කඩ වලට දාන්න හිතුවේ. අපේ වෙළඳසලකුණ රෙජිස්ටර් කළේ 1985 දීමයි.

“කඩවලට දාන්න අපව පෙළඹ වූ තවත් ප්‍රශ්නයක් වුනේ වාහන නවත්වන්න ඉඩ නැතිවීම නිසා ඇති ඇති වුණ ප්‍රශ්න. 1990 පමණ පාර පලල් කළාම කඩෙන් කොටසක් කඩන්න වුණා. අපේ ගනුදෙනුකරුවන්ගේ වාහනවලින් පාර පාරේ වාහන ගමනට අවහිර වුණා.

“මුලින් පටන් ගත්තේ මග්ගොන සිට ගාල්ල දක්වා කඩවලට අපේ නිෂ්පාදන සැපයීමයි. ඉන්පසුව මතුගම දක්වාත් කොළඹ දක්වාත් අපේ වෙළෙඳ මාර්ග (රූට්ස් – Routes) ව්‍යාප්ත කළා. දැනට වෙළෙඳ මාර්ග දහයකට වැඩිය තියෙනවා.

“අපි බෙදාහැරීමේ නියෝජිතයින් පත් කරලා නැහැ. අපේ නිෂ්පාදන කෙලින්ම කඩවලට දාන්නේ අපිමයි. දැනට ස්ථාන 300 කට වැඩිය රට පුරා ඒ නිෂ්පාදන විකිණෙනවා.”

ව්‍යාපාරයේ දියුණුව ගැන ඔවුන් මෙහෙම කීවා.

“අපි පටන් ගත්තෙ ප්‍රශ්න ගොඩක් මැද්දෙ. අපට තිබුණෙ නිෂ්පාදනය පිළිබඳ අත්දැකීම සහ කීර්ති නාමය පමණයි. ව්‍යාපාරය බෙදී යද්දී අප හා ඉතිරි වුණ හිතවත් සේවකයෝ අපට ගොඩක් අත දුන්නා මේ තත්ත්වයට එන්න.

“අපි බෙදාහැරීම පටන් ගත්තෙ පොඩි වෑන් එකකින්. දැන් බෙදාහැරීමෙන් කටයුතුවලට ලොරියක් තියෙනවා. අපට වෙන ආදායම් මාර්ග කිසිවක් තිබුණේ නැහැ. ව්‍යාපාරයෙන් ලැබුන දෙයක් පමණයි. ඉතින් ව්‍යාපාරය ගොඩනැගුවේ හෙමින් හෙමින්. පළමුවන බැංකු අයිරාව (Overdraft) ලැබුනේ කඩේ වැඩ පටන් අරන් වසර හතරකට පමණ පසුව. මට මතක විදිහට 1990 දී  ඒත් අපි ඉදිරියට යන්න උනන්දු වුණා.”

අපි බෙදාහැරීම පටන් ගත්තෙ පොඩි වෑන් එකකින්.
දැන් බෙදාහැරීමෙන් කටයුතුවලට ලොරියක් තියෙනවා.
අපට වෙන ආදායම් මාර්ග කිසිවක් තිබුණේ නැහැ. ව්‍යාපාරයෙන් ලැබුන දෙයක් පමණයි.
ඉතින් ව්‍යාපාරය ගොඩනැගුවේ හෙමින් හෙමින්.

අප සාකච්ඡා කරමින් සිටි ප්‍රනාන්දු යුවළගේ විසිත්ත කාමරයත්, ඔවුන්ගේ කඩ කෑල්ලත් අතර තුන් මහල් ගොඩනැගිල්ලක ඉදිකිරීම් කටයුතු නිමා වෙමින් තිබෙන හැටි අප දුටුවා.

“අප මේ ගොඩනැගිල්ල හැදුවේ ඉතාම හෙමින්. ස්වර්ගිකා නව ගොඩනැගිල්ල දෙසට අපගේ නෙත් යොමු කළා. හොඳට හිතලා බලලා කල් අරගෙන කාලයක් පවතින්න හදලා තියෙන්නේ.

“අත්තිවාරම දැම්මෙ හොඳට ඉහලට තට්ටු නංවන්න පුළුවන් වෙන්න. භාණ්ඩ පිළිබඳව කිසිම අඩුවක් කළේ නැහැ. හොදම තත්ත්වයට හදන්නේ අපේ දරුවන්ට පසු කලකදී ශක්තියක් ලබා දෙන්නයි.

“අපි සීයගෙ ව්‍යාපාරයේ සිය වන සංවත්සරය වූ 1996 වැඩි ලොකුවට සැමරුවේ නැහැ. මේ ගොඩනැගිල්ල විවෘත කරද්දී ඒ ගැනත් කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.

“නව ගොඩනැගිල්ල 1998 දෙසැම්බර් මුල දී විවෘත කරන්න අවශ්‍ය කටයුතු යොදමින් ඉන්නේ. එහි බිම් මහලේ එක පැත්තක් අපේම නිෂ්පාදන සඳහා වෙන් කරලා, අනිත් අනෙක් පැත්ත අපේ ගනුදෙනුකරුවන්ගේ පහසුවට අවශ්‍ය වෙන ග්‍රොසරි ද්‍රව්‍ය සැපයීමට වෙන් කරනවා.

“පළමු මහල ආහාර ද්‍රව්‍ය, තේපැන් සඳහා වෙන් වෙන්නේ. ෂෝට්ඊට්ස් යනාදිය ගනුදෙනුකරුවන්ට පෙනි පෙනීම නිෂ්පාදනය ටයි අපි ලෑස්ති වෙන්නෙ. දැන් කාලේ හැටියට ඔවුන්ට ආහාරවල පිරිසිදුබව ප්‍රත්‍යක්ෂ කිරීමට එය අවශ්‍යයි. බිම් මහල හා පළමු මහල එකවර විවෘත කරන්නයි ඉන්නේ.

“දෙවන මහල (තුන්වැනි තට්ටුව) වෙන් කරන්නේ කොළඹ ගාල්ල මහා මාර්ගයේ ගමන් කරන අයගේ මූලික අවශ්‍යතාවයක් වන දිවා රාත්‍රී ආහාර බුෆේ (Buffet) ක්‍රමයට සපයන්න. යම් නියමිත මිලක් ගෙවා තමාට ඕනෑ තරමට කෑම කන්න මේ නිසා හැමෝටම ඉඩ සැලසෙනවා. අපි නවීන සැප පහසුකම් වැසිකිලි පහසුකම් යනාදී සියල්ලම සපයනවා.” ස්වර්ගීකා මෙහිදී  තව දුරටත් කීවා.

“එතනින් ඉහලට විශේෂයෙන්ම රාත්‍රී ආහාරය සපයන්න විශේෂ විවෘත අවන්හලක් ඉහළම තට්ටුවේ විවෘත කරන්නයි අපේ බලාපොරොත්තුව. ඒක පසුවට ගණුදෙනුකරුවන්ගේ ඉල්ලුම අනුවයි තීරණය කරන්න ඉන්නේ.

“පාර කැඩුවට පස්සෙ වර්ග අඩි 150 කට පමණ සීමා වෙලා කරගෙන ගිය මේ  වෙළඳාම තට්ටු තුනකින් යුතු ව්‍යාපාරයක් බවට පත්වෙන කොට ඇති වන්නේ විශාල වෙනසක්” ඔවුන් අපට කීවා.

ඉස්සරහ පැත්තෙන් ඉල්ලුම වැඩි වෙනකොට සැපයුම පැත්තෙන් මොකද වෙන්නේ? අපිට දැනගන්න ඕනෑ වුණා.

සාමාන්‍ය සුළු ව්‍යාපාරිකයෙකු වෙතින් නොලැබෙන අන්දමේ ප්‍රායෝගික පිළිතුරක් මේ ප්‍රශ්නයට මට ලැබුණා.

“අපි මුලින්ම බැලුවේ ඒ සැපයුම් පැත්ත දිහා තමයි.” නිවස පිටුපසින් වූ බේකරි ප්‍රදේශය අඟවමින් ඔවුන් කියා සිටියා.

“ඉල්ලුමක් තිබිලා වැඩක් නැහැ නිෂ්පාදන සපයන්න බැරිනම්. ඒ නිසා තමයි අපි ඉස්සරහ පැත්ත පොඩියට තියාගෙන වුණත් පිටිපස්සේ නිෂ්පාදන පැත්ත මුලින් ලොකු කළේ. දැනට අපි ප්‍රයෝජනයට නොගන්නා අතිරේක ධාරිතාවක් (excess capacity) තියෙනවා. දැනට බේකරියේ තිස් දෙනෙක් විතර වැඩ කරනවා. සාමාන්‍යයෙන් වැඩ යන්නේ අට ඉඳන් පහ දක්වා වැඩ මුරය (ෂිෆ්ට් එක) පමණයි. අනාගත ඉල්ලුමට අනුව සම්පූර්ණයෙන්ම අලුත් ෂිෆ්ට් එකක් දැමිය හැකියි.”

අපට මෝනිස් බේකරියේ බේකරි කොටස බලාගන්න අවශ්‍ය බව කීවාම ප්‍රනාන්දු යුවල අපව එහි කැඳවාගෙන ගියා. පළමු මහලේ වූ විසිත්ත කාමරයෙන් ඔවුන්ගේ නිවස පිටුපසටත්, එයින් පඩිපෙළකින් පහළට බැස ප්‍රධාන බේකරි ප්‍රදේශයටත් අපි පිවිසුණා.

Monis staff and owners

අප බලාපොරොත්තු වුණාට වඩා නවීන, බිත්ති වලට පිගන් ගඩොල් ඇල්ලූ විශාල කාමරයක පෝරනු දෙකක ආධාරයෙන් මෝනිස් රස්ක් සඳහා අවශ්‍ය කුඩා රවුම් පාන් ගෙඩි පුළුස්සන හැටිත්, ඒවා කඩිසර දෑතින් දෙකට කපන අයුරුත්, නැවත අඩු උණුසුමක් යටතේ ඒවා පිලිස්සීමට අසුරන, රතු හා නිල් මිශ්‍රිත ඇඳුමින් සැරසී හිස්වැසුම් වලින් හිස් ආවරණය කරගත් සේවක සේවිකාවනුත් අපට දැකගන්නට ලැබුණා.

මෙසේ සාදන භාණ්ඩ පැකට් කරන්නේත් මේ ස්ථානයේමයි. තම ප්‍රාග්ධනයේ වැඩි කොටසක් වැය කර ඔවුන් මුලින්ම හදාගත් බේකරි මේසයත් මේ කාමරයේ දී අපට දැකගන්න ලැබුණා. නැවුම් ආහාර වල සුවඳින් පිරී ගිය මේ විශාල බේකරියේ ඉහළ තට්ටුවද අලුතින් විවෘත කරන වෙළඳසැලට සහ ආපන ශාලාවට අවශ්‍ය රස රසකැවිලි, අලුවා, කැවුම් වැනි දේ නිෂ්පාදනය සඳහා අවශ්‍ය පහසුකම් වලින් සම්පූර්ණ වීම ලඟදිම ඉටු වෙන බව ස්වර්ගික අපට කීවා. නවීන බේකරියෙන් පිටවන විටම පරණ මෝනිස් බේකරි පෝරණුවට පිවිසෙන දොරටු අපට දැකගන්න ලැබුණා.

ඉස්සරහ වැඩ ඉවර වෙනකොට නැවත පිටිපස්සේ නවීකරණ කටයුතු කරන්න ප්‍රනාන්දු යුවල බලාපොරොත්තු වෙනවා. “සමහරු ඉස්සරහ හදන්න ගන්නවා. ඉන්පසු බාගෙට නවත්තලා පිටිපස්සට යනවා. කිසි දෙයක් සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි හොඳින් හිතා බලා කටයුතු කරන්නේ,” ඔවුන් දෙදෙනාම ප්‍රකාශ කළා.

තමන්ගේ දරුවන්ට මේ ව්‍යාපාරය පවරා දීම ගැන හිතා බලා තිබෙනවාද?
අපි පරම්පරාවකින් පරම්පරාවකට ව්‍යාපාරය මාරු වෙද්දි විවිධ කම්කටොලුවලට මුහුණ දී ජය ගත් ප්‍රනාන්දු යුවළගෙන් ඇසුවා.

හතළිස් වසර යාන්තම් පසු කළ ඔහු මේ ගැන හොඳින් හිතා බලා තිබෙනවා. ඔහු වෙනුවෙන් කතා කළේ ඔහුගේ බිරිඳ ස්වර්ගිකා.

“අපිට දරුවන් තුන් දෙනෙක් ඉන්නවා. දැනට ලොකු දුවගේ වයස 16යි, පුතාගේ වයස 14යි. බාලයට අවුරුදු 8යි. දුවත් පුතාත් දෙන්නම ව්‍යාපාරයේ කටයුතු ගැන උනන්දුයි. පුතා වැඩිපුරම නිෂ්පාදන පැත්තට ඇලුම් කරනවා. දුවට අලෙවි කටයුතු පිළිබඳවත්, සේවකයින් පාලනය ගැන දැනුමක් තිබෙනවා. එයාලා දැනටමත් ඒ කටයුතු ගැන දැනුමක් ලබාගන්න උනන්දු වන බව අපට පෙනී යනවා. අපට වෙච්ච දේ දරුවන්ට නොවෙන්න තුන්දෙනාටම වෙන වෙනම කොටස් පවරා දෙන්න පුළුවන් විදියට තමයි අලුත් ගොඩනැගිල්ල වුවත් හදලා තියෙන්නේ. ඒ කොටස් වෙන වෙනම පාලනය කළ හැකියි. ගොඩනැගිල්ල අපි පුළුවන් තරම් වියදම් කරලා උනත් ඉස්තරම් තත්ත්වයකින් මේ හදන්නේ ඔවුන්ට අනාගතයේදී ශක්තියක් වෙන්න ඕන නිසයි.”

අත්වැලේ අපි මෝනිස් බේකරිය ගැන ලියන්න හිතුවේ දෙවන පරපුරින් ලබාගත් ව්‍යාපාරයක් තුන්වන පරපුර පවත්වාගෙන යන හැටි ඔබ වෙත ගෙන ඒමටයි. ඒත් මගදී අපිට දැනගන්න ලැබුණේ කඩා බිඳ වැටුණු අබලන් වූ ව්‍යාපාරයක් මුල හිටන් අභියෝග හමුවේ ඔවුන් තම දිරියෙන් නැවත ගොඩ නැංවූ බව. ඉතින් අපි මුලින් හිතුවාටත් වඩා දයාරත්න ප්‍රනාන්දු සහ ඔහුගේ බිරිය ස්වර්ගිකා මුළු ව්‍යාපාරිකයින්ට දෙන දැනමුතුකම් අපේ පාඨක ඔබට ප්‍රයෝජනවත් යැයි අප හිතනවා.

සුළු ව්‍යාපාරිකයින්ට දෙන දැනමුතුකම් මොනවාද?

  • “කැපවීම හරිම වැදගත්” දයාරත්න කීවා.”මොන බාධක, ප්‍රශ්න ආවත් ඉදිරියට යන්න.”
  • පාඩු ආවාට ගණන් ගන්න එපා. මම උදාහරණයක් දෙන්නම්. අපිට  මීගමු වෙළඳ මාර්ගය හදා ගන්න සම්පූර්ණ අවුරුද්දක් විතර ගියා. අපේ වෙළෙඳ නියෝජිතයෝ කැමති වුණේ නැහැ මේ වෙළඳ මාර්ගයට. ඇයි බොහෝ ගනුදෙනුකාරයෝ නිතරම වගේ ණයට බඩු ඉල්ලූ නිසා; සල්ලි දීලා ගන්න අකමැති වූ නිසා. ඒත් මම ඔවුන්ව කොහොම හරි යැව්වා. ණයට හෝ දීලා ඒ වෙළෙඳ මාර්ගය දියුණු කරගැනීමට අවශ්‍ය නිසා. මෙවැනි දේ වලදී තරමක පාඩු දරන්න ලැහැස්ති වෙන්න ඕනෑ.
  • “සුළු ව්‍යාපාරයක් කරන විටදී නාස්තිය අඩු කරගන්න කර ගන්න ඕනෑ” ස්වර්ගිකා කීවා.
  • “අපි යෙදිලා ඉන්නේ ආහාර සැපයීමේ කටයුත්තක. පිරිසුදුකම අනිවාර්ය බව සේවකයින්ට පහදා දෙන්න ඕනෑ. අපි නිතරම ළමයින්ගේ නියපොතුවල පිරිසිදුකම, හිසකෙස් තබා ගන්න විදිහ ගැන, සෞඛ්‍ය තත්ත්වය හොයනවා. මිනිස්සු අපි ළඟට එන්නේ අපි දෙන දේවල පිරිසිදුකම ගැන විශ්වාසයක් තියෙන නිසා. අපි මේ පාරිභෝගිකයාගේ විශ්වාසය රැකගන්න ඕනෑ,” දයාරත්න ඒ අදහසට එකඟ වුණා.“අපි බේකරිය අවට පවා පිරිසිදුව තියාගෙන ඉන්න. විවෘත කාණු  නැහැ. පොළොව යටින් කාණු පවා දාලා තියෙන්නෙ මේ හින්දයි. කාටත් මෙයින් හොඳයි.අලුත් ගොඩනැගිල්ලේ කොටසක් වෙන් කරනවා කෑම ද්‍රව්‍ය වලින් සමහරක්වත් ගනුදෙනුකරුවන්ට පෙනෙන ආකාරයට පිළියෙල කරන්න මිනිස්සු ඒකට කැමතියි.”
  • “අපේ උත්සාහයක් තිබෙනවා ඉස්සර කාලයට වඩා තත්වයෙන් ඉහල නිෂ්පාදන අපේ ගනුදෙනුකරුවන්ට සපයන්න. මේක කරගෙන යන්න දිගින් දිගටම අමාරු වෙනවා, ඇයි අපිට ලැබෙන අමුද්‍රව්‍ය අපේ සීයලාගේ කාලේ තාත්තලාගෙ කාලේ වූ අමුද්‍රව්‍යවලට වඩා තත්වයෙන් බාල නිසා. ඒත් සල්ලි දෙසම නොබලා ගුණාත්මකභාවය ආරක්ෂා කරගන්න අපි මහන්සි වෙනවා.”
  • “ඕනෑ කමක් තියෙනවා අපේම ආහාර අපේ ගනුදෙනුකාරයන්ට ලබාදෙන්න මේ නිසා දැන් අපි කලින් මිලදී ගත් නිෂ්පාදන අපිම හදා ගන්නවා. උදාහරණ වශයෙන් කලින් පිටින්ගත් කිරි අලුවා දැන් අපිම සාදා ගන්නවා.“මේ විදියටම අපි විකුණන කෑම වර්ග (Short eats) හදන්නෙත් අපිමයි. වෙන තැන්වල වගේ පැකට් කල දේ අරගෙන සකස් කරලා දෙන්නේ නැහැ. තවද පිටින් ගන්නා දේවලට අපේ නම ගහන්නේ නැහැ.

“බොහෝ දෙනා අපෙන් ඉල්ලා සිටිනවා බඩුවල තත්ත්වය, ගුණාත්මකභාවය දැනට තිබෙන විදියටම ආරක්ෂා කරගන්න කියලා. අපි නිතරම නිෂ්පාදන වල රස උසස් කරන්න වෙහෙසෙනවා. අලුත් අලුත් විදිහට මිශ්‍රණ හදලා රස වැඩි කරන්න තැත් කරනවා.”

  • “තත්වයෙන් අඩු පැකට් එක රුපියල් පහක ලාබයක් තබාගෙන විකුණනවාට වඩා අපිට වාසියි තත්ත්වයෙන් ඉහළ දේ එක රුපියලක් තියාගෙන විකුණන එක. අර අලාභය විකිණෙන පැකට් ගණන වැඩිවීම මගින් නැතිවෙලා යනවා. අපේ බලාපොරොත්තුව මුදලම නෙමෙයි. මේක අපි අත්දැකලා තියෙනවා.”

අපේ දයාරත්න ස්වර්ගිකා යුවළගෙන් සමුගත්තේ සුළු ව්‍යාපාරික ප්‍රජාවට බොහෝ ප්‍රයෝජනවත් වන කතාවක් අවසාන කළා යන හැඟීමෙනි.

ඉතින් ගාලු කොළඹ මහා මහාමාර්ගයේ මග්ගොන පසු කරනකොට ඔබත් අමතක කරන්න එපා ළඟදීම නව මුහුණුවරකින් ඔබ අතරට එන, ශතකය කට වඩා පැරණි ව්‍යාපාරයක් වන මෝනිස් බේකරියට ගොඩවැදීමට.

එසේ ගිය විටදී ව්‍යාපාරය ආරම්භයට පුරෝගාමීවූ බොගහවත්තේ මෝනිස් ප්‍රනාන්දුගේ ඡායාරූපය ඇතුළු මේ පුරාණ ව්‍යාපාරයේ ඉතිහාසය පෙන්වා දෙන වෙනත් තොරතුරු, පින්තූර බලා ගන්නත් අමතක කරන්න එපා.

අත්වැල ව්‍යාපාරික සඟරාවේ 1998-12 කලාපයෙනි

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: