ඔබේ ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයට වැදගත් වන  ව්‍යාපාරික කටයුතු සංවිධානය කිරීම (I)

නිහාල් දිසානායක, BA (Econ), MBA (France)

සංවිධාන කාර්යය යනු ව්‍යාපාරයක කළ යුතු වැඩ කොටස් විද්‍යානුකුල ක්‍රමයකට එක එක සේවකයින්ට පැවරීමයි. එම සංවිධාන කාර්යය හඳුන්වාදීම මෙම ලිපියේ අරමුණයි.

ශ්‍රී ලංකාව තුළ බලපවත්වන නීතිවලට අනුව ව්‍යාපාරයක හිමිකරුවන් හට ඔවුන් සතු දේපළ කැමති ආකාරයට භුක්ති විදීමටත් , එම අයිතිවාසිකම් සහ බලතල වෙන කෙනෙකුට පැවරීමටත් , අයිතිකරුවන්ගේ අවසරයක් නොමැතිව එම දේපල වෙන කෙනෙක් භුක්ති විඳීම වැළක්වීමටත් නීත්‍යානුකූල අයිතිවාසිකමක් ඇත.

ව්‍යාපාර හිමියා හට තම ව්‍යාපාරය මෙහෙයවීම  සදහා ලැබෙන අයිතිය රටේ පවත්නා වෙනත් නීතිවලට අනුව සීමා වුවත් තම ව්‍යාපාරයේ අභිවෘද්ධිය වෙනුවෙන් එහි කටයුතු මෙහෙයවීම ඔහුගේ පරම යුතුකමයි. මේ අනුව ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීම සදහා ව්‍යාපාරය සතු සම්පත් මෙහෙයවීම ව්‍යාපාර හිමියෙකු හිස මත පැටවෙන ප්‍රධාන වගකීමයි. ව්‍යාපාරයේ සියලුම කටයුතු ව්‍යාපාර හිමියා හට තනිවම කළ නොහැකි නිසා එම කටයුතු සතුටුදායක අන්දමින් ඉටු කිරීම සදහා වෙනත් සේවකයන් බඳවා ගනි.

ව්‍යාපාරයේ අරමුණු ඉටු කර ගැනීම සදහා ව්‍යාපාරය සතු සම්පත් මෙහෙයවීම ව්‍යාපාර හිමියෙකු හිස මත පැටවෙන ප්‍රධාන වගකීමයි.

ක්‍රියාවලිය එක්  එක්  කාර්යයන්ට බෙදීම

වැටුප් ලබන සේවකයන් හට හෝ ව්‍යාපාරයේ අනිකුත් අයිතිකරුවන් අතර වැඩ කොටස් බෙදා දීම ව්‍යාපාර කටයුතු සංවිධානය කිරීම වශයෙන්  හැඳින්වේ.

සංවිධානය කිරීම කළමනාකාරීත්ව ක්‍රියාවලියේ වැදගත් ස්ථානයක් හිමි වේ. එම කාර්යය තේරුම් ගැනීමේ පහසුව සඳහා පහත සඳහන් අනු කොටස්වලට බෙදිය හැකිය.

  • ව්‍යාපාරික ආයතනයේ අරමුණු ඉෂ්ට කර ගැනීමට කල යුතු කාර්යයන් අනු කොටස්වලට බෙදා නිශ්චිත කිරීම.
  • ඒ ඒ කාර්යයන් වෙන් වෙන් වශයෙන් පුද්ගලයන්ට පැවරීම.
  • වැඩ පවරන ලද පුද්ගලයන් අතර ඇති අන්තර් සේවක සම්බන්ධතාවය නිශ්චිත කිරීම.

ඕනෑම සංකීර්ණ කාර්යයක් කිරීමේ දී කාලය අනුව හෝ වෙනත් ආකාරයකින් හෝ අනු කොටස්වලට කැඩිය හැක.

පුටුවක් සෑදීම උදාහරණයක් වශයෙන් ගතහොත් වඩු මඩුවේ දී සිදුවන්නේ පුටුවට අවශ්‍ය සැලසුමක් පිළියෙළ කිරීම , එම සැලසුමට අවශ්‍ය ලී දඬු අවශ්‍ය අන්දමට කපා සවි කිරීම, සවි කරන ලද පුටුව අවසාන කිරීම සඳහා එය පිරිසිදු කිරීම , ඉන් පසු පාට වර්ගයක් ගා අවසාන කිරීම වැනි කාර්යයන් රාශියකි.

ඉහත සඳහන්  එක් එක් කාර්යය නැවත අනු කොටස්වලට බෙදීම ද අපහසු නොවේ. බොහෝ විට විශාල කර්මාන්තශාලාවල ක්‍රියාත්මක වන සංවිධානාත්මක කටයුතුවලට අනුව එක් සේවකයෙකු අතින් සිදුවන්නේ නිෂ්පාදන ක්‍රියාවලියෙන් ඉතා සුළු කොටසකි.

කැරකෙන පටිවලට සම්බන්ධ කර ඇති නිෂ්පාදනාගාරයක  පුටුවක් සාදන්නේ නම් එක් පුද්ගලයෙකුගේ කාර්යය ලී කෑලි දෙකක් එක්කොට අමුණා තැබීම වැනි සුළු කාර්යයක් විය හැකිය.

එවැනි ආකාරයකින් සුළු කාර්යයක් ඉටු කරන සේවකයා තවත් සේවකයින් සමඟ අන්තර් සබදතා ඇති කර ගත යුතුය. එසේ නොමැතිව සම්පූර්ණ පුටුවක් නිපදවීමේ කාර්යය සාර්ථකව නිම කළ නොහැක.

ඕනෑම සංකීර්ණ කාර්යයක් කිරීමේ දී කාලය අනුව හෝ වෙනත් ආකාරයකින් හෝ අනු කොටස්වලට කැඩිය හැක.

සංවිධානය කිරීමේ කාර්යය දෙස බලන විට කා හට වුවත් වැටහී යන එක් කරුණක් නම් යම් පුද්ගලයෙකු හට අදාල කාල පරිච්ඡේදයක් තුළ අවසාන කළ හැකි වැඩ කොටසක් තීරණය කිරීම හා නිශ්චිත කිරීම අවශ්‍ය බවයි. නිශ්චිත වගකිමකින් යුක්තව පවරන වැඩ කොටසක් සේවකයින් විසින් කිරීමට බැඳී ඇති අතර නිශ්චිත නොවන වැඩ කොටස් පිළිබදව ඔවුන් තුළ ඇති වන්නේ පැකිලීමකි. එසේත් නැති නම් සංකීර්ණ වැඩ සම්බන්ධතාවයකි.

කාර්යයන් නිශ්චිත කොට ලැයිස්තුගත කිරිම

කළ  යුතු කාර්යයන් නිශ්චිත කොට ලැයිස්තුගත කිරිම සංවිධානය කිරීමේ මුල් පාදය වශයෙන් හැඳින්විය හැකිය.

තවත් උදාහරණයක් අවශ්‍ය යයි සිතමු. ඔබ ආයතනය පිරිසිදු කිරීමේ කාර්යය යම් කෙනෙකුට පවර ඇත්නම් එම කාර්යයට ඇතුළත් විස්තරය ද ඔවුන් හට පහදා දිය යුතුය.

පිරිසිදු කිරීම බිමට පමණක් සීමා විය යුතුද? සේවකයන් වැඩ කරන මේස උඩ සහ යට එකතු වන දූවිලි පිස පිසීමත් , විදුලි පංකාවල එකතු වන දූවිලි පිස දැමීමත් එයට ඇතුළත් නොකළ හොත් එම කාර්යය සඳහා වෙන ම නියෝග නිකුත් කිරීමක් අවශ්‍ය නොවේද?

බිම පිස දැමීම භාර කර ඇති සේවකයා හට විදුලි පංකාවක් පිස දැමීම භාර කිරීමේ හැකියාවක් නොමැති නම් එය එම හැකියාව ඇති කෙනෙකුට පැවරිය යුතුය. එම නිසා කල යුතු කාර්යයන් නිශ්චිත කොට ලැයිස්තුගත කිරිම සංවිධානය කිරීමේ මුල් පාදය වශයෙන් හැඳින්විය හැකිය.

නිශ්චිත කරන ලද වැඩ කොටස් සේවකයින්ට පැවරීම

කාර්යයන් සංවිධානය කිරීමේදී දෙවන වැදගත් කාර්යය වනුයේ කිරීමට ඇති වැඩ කොටස් සේවකයින්ට පැවරීමය. මෙම පැවරීමේදී මේ වැඩ කොටස නිම කළ යුත්තේ වැඩය පවරනු ලැබූ පුද්ගලයින් විසින්ය.

ඔහුගේ වැඩ කොටස නිශ්චිත කර නොමැති නම් ඔහු විසින් එම වැඩ කොටස සම්පුර්ණ නොකිරීමත්,  නොකර සිටීමට නොයෙක් නොයෙක් හේතු සෙවීමත් සිදුවිය හැකිය.  එනිසා මුළු ක්‍රියාවලියම අඩපණ විය හැකිය.

සේවකයකුට වැඩ පැවරීමේදී වැදගත් වන මුලධර්ම දෙකකි.  එයින් ප්‍රධාන කරුණ වන්නේ සෑම සේවකයකුම වෙතම වැඩ පැවරිය යුත්තේ එක් ස්වාමියකු විසින් බවය.  මෙයින් අදහස් කෙරෙන්නේ කිසිම සේවකයකු හට තම සේවය කිරීම පිළිබඳව එක පුද්ගලයකුට වඩා වැඩි ගණනක් විසින් වැඩ පැවරීම සිදු නොකළ යුතු බවය. එවැනි දෙයක් අත්‍යවශ්‍ය නම් එය සංවිධාන ව්‍යුහයේ නිත්‍ය අංගයක් වශයෙන් සැලසුම් කර යුතුය.

පුද්ගලයන් අතර ඇති අන්තර්සම්බන්ධතාවය නිශ්චිත කිරීම

මෙයින් අදහස් කරන්නේ ඕනෑම සංවිධානයක සේවක සංඛ්‍යාව අතර එක් එක් මට්ටමේ සේවකයින් සිටිය හැකි බවයි.

ඕනෑම කෙනෙකු ගතහොත් ඔහුට සමාන අය සිටිය හැකි අතර ඔහුට උසස් හා පහත් මට්ට්ටමවල සේවකයින්ද සිටිය හැකිය. සේවකයින් අතර තිබිය යුතු මෙම සම්බන්ධතාවය නිශ්චිත නොකිරීමෙන් මානව සම්පත් පාලනය කිරීමේ දී බොහෝ ගැටළු ඇති වේ.

යම් ආයතනයක සේවක මණ්ඩලය එක් එක් අය අතර ඇතිවිය යුතු අන්තර්සම්බන්ධතාවය නිශ්චිත නො කිරීමෙන් එම ස්ථානයේ ගැටුම් ඇතිවීම වැළක්විය නොහැක. අවශ්‍ය වන්නේ සෑම සේවකයකුම සිටිය යුතු තලය තීරණය කිරීමය. සංවිධාන ව්‍යුහයේ හිමිවිය යුතු ස්ථානය නිශ්චිත කිරීමය.

ඉහළ හා පහළ මට්ටම්වල සේවකයින් අන්තර් සේවක සම්බන්ධ ක්‍රියාදාමයකින් බැඳ තැබීමෙන් ආයතනයක ක්‍රියා මාර්ගය වඩා සාර්ථක කර ගත හැක.

සේවකයින් අතර ඇති අන්තර්සම්බන්ධතාවය මෙන්ම සේවකයින් සහ ව්‍යාපාරයේ නොයෙක් වත්කම් අතර තිබිය යුතු සම්බන්ධතාවය ද නිශ්චිත කළ යුතුය. මෙය අවශ්‍ය වන්නේ සේවකයින් හට භාර කරන කාර්යයන් සඳහා අවශ්‍ය උපකරණ හෝ වත්කම් සඳහා භාවිතා කිරීමේ අයිතියක් නොමැති නම් කිසිම කාර්යයක් සාර්ථකව ඉටු කළ නොහැකි නිසාය.

සුළු ව්‍යාපාරිකයකු තම ව්‍යාපාරයේ කටයුතු සංවිධානය කිරීම ඉතා ප්‍රවේශමෙන් කළ යුතුය. සුළුවෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන ව්‍යාපාරිකයාට තම ව්‍යාපාරයේ සියලුම වැඩ කිරීමට සිදුවේ.  පවුලේ සාමාජිකයින් යොදවා ගනු ලබන්නේ ඔහුට උපකාර කිරීම පිණිසය. ව්‍යාපාරය ටිකින් ටික දියුණු වන විට තවත් සේවකයින් බඳවා ගැනීම අනිවාර්යෙන්ම කළ යුතුය.

සංවිධාන සටහනක් පිළියෙළ කිරීම

දැන් අපි ඉතා කුඩා මට්ටමකින් සුළු කඩයක් ආරම්භ කළ ව්‍යාපාරිකයකු දෙස බලමු. ඒ සඳහා සේවකයින් දෙදෙනෙකු අවශ්‍ය යැයි සිතා ඔවුන් බඳවා ගතහොත් ඔවුන් හට පැවරෙන කාර්යයන් කුමක්ද යන්න තීරණය කිරීම අපහසු නොවේ.

OrgChart01

අංක 1 දරන රූප සටහනෙහි පෙන්වන පරිදි ඔහුගේ සේවකයින් දෙදෙනා එකම මට්ටමක වෙයි. ඔවුන් හට වැඩ කටයුතු පැවරීම සහ ඔවුන්ගේ වැඩ කටයුතු සොයා බැලීම සම්පුර්ණයෙන්ම ව්‍යාපාරිකයා සතු වෙයි. ඔවුන් තිදෙනා අතර ඇති ව්‍යාපාරයේ කටයුතු කිරීම සඳහා ගොඩ නැගෙන අන්තර්සම්බන්ධතාවය ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයේ මුල්ගල වශයෙන් හැඳින්විය හැකිය.

ව්‍යාපාරිකයා හා සේවකයින් අතර ඇති ව්‍යාපාරයේ කටයුතු කිරීම සඳහා ගොඩ නැගෙන අන්තර්සම්බන්ධතාවය ව්‍යාපාරයේ කාර්යක්ෂමතාවයේ මුල්ගල වශයෙන් හැඳින්විය හැකිය.

ව්‍යාපාරික ආයතනය කුඩා එළවළු කඩයක් නම් එය පිරිසිදු කිරීම,  එළවළු පිරිසිදු කිරීම,  දිය ඉසීම, එළවළු අවශ්‍ය පරිදි සකස් කිරීම.

ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවයන් ඉටු කිරීම (බඩු කිරීම සහ මැනීම) වැනි දේ දෙදෙනාටම පැවරිය හැකිය. සේවකයින් දෙදෙනාම එක සමාන බව අංක 1 රූප සටහන පෙන්වයි. ඔවුන් වෙනත් වෙනත් කාර්යයන්හි නියුතු වුවද, දෙදෙනාම එක සමාන වන්නේ ඔවුන්ගේ වැඩ පැවරීම ව්‍යාපාර හිමියා විසින් කළ යුතු නිසාය. එක් සේවකයකු අනිකා වෙත තම කටයුතු පැවරීම කළ හැක්කේ දෙදෙනා අතර ඇති මිත්‍රත්වය නිසා පමණි. ඔවුන්ගේ රැකියාවේ කොටසක් වශයෙන් නොවේ.

එක් එක් සේවකයා විසින් කළ යුතු කාර්යයන් නිශ්චය නොකළහොත් ඇතිවන ප්‍රතිඵලය නම් ඔවුන් විසින් වැඩ නොකිරීමට හේතු දැක්වීම සහ එක් එක් සේවකයාගේ වැරදි අතින් සේවකයා පිට පටවා තමා බේරීමට උත්සාහ කිරීමත්ය.

OrgChart2

දෙවන රූප සටහනේ දැක්වෙන ආකාරයට එක සේවකයකු අනික් සේවකයා යටතට පත් කරන්නේ නම් තත්ත්වය සම්පුර්ණයෙන්ම වෙනස් විය හැකිය. පළමුවන සේවකයා දෙවැනි සේවකයාගේ සුපරීක්ෂක බවට පත්වේ. පළමුවන සේවකයා විසින් පවරනු ලබන වැඩ කිරීමට දෙවන සේවකයා බැඳී සිටී.

මෙම ලිපියේ දෙවැනි කොටස මීළඟ සතියේ බලාපොරොත්තු වන්න.

ඔබට නව ලිපි ගැන දැනුවත් වන්නට දියුණුව බ්ලොග් එක සඳහා ඊමේල් දායකත්වය ලබාගන්න. නැතිනම් දියුණුව YouTube චැනල Facebook පිටුව LIKE කරන්න.

අත්වැල ව්‍යාපාරික සඟරාවේ 1998-12 කලාපයේ ප්‍රගති මාර්ගය ලිපි පෙළෙහි පලවුවකි.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: