උඩරට ඇදුණු දකුණේ මුදලාලිලාගේ වංශකථාව

RelaxedAfternoon by Nilantha Vidanarachchi SaatchiArt

න.බ. කුලසේකර විසිනි 

ශ්‍රී ලංකික ව්‍යවසායකත්වය පිළිබඳ ඔබ නොදන්නා රස තොරතුරු රැසක් ඔබ වෙත ගෙන ඒම මෙම ලිපියේ අරමුණයි.

උඩරට බලා ඇදුණු දකුණේ මුදලාලිලාගේ වංශකථාව ව්‍යවසායක ලෝකයේ පර්යේෂණ තේමාවකි. කර්කෂ වූ හැඩිදැඩි පරිසරයකට මැදිව, එහි කිසිදු තෙතමනයක් නොවිඳ, දකුණේ ව්‍යවසායකත්වය උරුම කොට ගත්තවුත් සුවදායී පරිසරයක් සොයා යෑම, සෑම ජීවියකුටම උරුම වූ පොදු හැසිරීම් රටාවකි. එරෙහිවන පරිසරයට ගොදුරු වන මහා වෘක්ෂයන් ඒ තුළම විනාශ වූවද සතා සිවුපාවා ඉන් මිදී විමුක්තිකාමියකු වන අන්දම සත්ව ලෝකයේ ස්වභාවික හැසිරීමකි.

එම හැසිරීම් රටාව ප්‍රදර්ශනය කළ දකුණේ ව්‍යවසායකයෝ ශ්‍රම සංචලනයද සාමජානුයෝජනයද ව්‍යාපාර ශික්ෂණය හා මානව හිතවාදී බවද ප්‍රදර්ශනයට කරමින් තම ජීවිත ඉලක්කයන් කරා තම ජීවිත සටන මෙහෙයවුහ.

ශ්‍රී ලංකාවේ අමරණීය නාමයන් බවට පත් වූ මෙම ව්‍යවසායකයෝ නොකඩවා ගලා යන ව්‍යවසායක පරම්පරාවක් බිහිකොට ශ්‍රී ලංකාව එක් සේසත් කිරීමෙහි හා සාමයෙන් පිරි සමාජයක් ගොඩනැගීමේහි ලා සැඟවුණු කොටස්කරුවෝ ලෙස ඊට දායක වූහ. එබැවින් ඔවුන්ගේ ව්‍යාපාරික දෘෂ්ඨියද මානව හිතවාදී බව හා ව්‍යවසායක ගුණයද පර්යේෂකයින්ගේ සැළකිල්ලට හසු විය යුතු ප්‍රධාන මාතෘකා කිහිපයකි.

ඕනෑම කඩ මන්ඩියක හෝ හතර මං හන්දියක හෝ ඕනෑම ටවුමක හෝ ඔබට මාතර හෝටලයක් හෝ මාතර මුදලාලි කෙනෙකුගේ සිල්ලර බඩු කඩයක් හෝ දැක ගැනීමට ලැබීම ඇතැම් විට ඔබ ආශ්චර්යජනක දෙයක් කොට මෙතෙක් සිතන්නට නැත. පරිප්පු නැති හෝටලයක්ද බණ්ඩා කෙනෙක් නැති පොලීසියක්ද හොයා ගන්නට නැතුවා මෙන්ම මාතර මුදලාලි කෙනෙක් මේ රටේ නොගිය තැනක් සොයා ගැනීමද ඉතා අසීරුය.

නීල් ආම්ස්ට්‍රෝන් හඳට බසින විට
එහි මාතර මුදලාලි කෙනෙක් ඊට පෙර ගොස් සිටි බව…

නීල් ආම්ස්ට්‍රෝන් හඳට බසින විට එහි මාතර මුදලාලි කෙනෙක් ඊට පෙර ගොස් සිටි බව දැක්වෙන කාටුන් චිත්‍රයක් එකල පත්තරයක පළ වී තිබුණා.  මෙය නීල් ආම්ස්ට්‍රෝන් උපහාසයට ලක් කිරීමට පළ කළ කාටුන් චිත්‍රයක් නොව දකුණේ මුදලාලිලාගේ වංශකථාව තුළ සැඟවුණු විද්‍යාත්මක පසුබිම අතිශයෝක්තියට නැගූ අපූරු කාටුන් චිත්‍රයකි.

දකුණේ බොහෝ දෙනා අතරේ ‘සිංහලේ යනවා’ හෝ ‘උඩහ යනවා’ හෝ ‘උඩහ ගිහින්’ යන වචන වලින් කියවෙන්නේ මුළු කන්ද උඩරට ප්‍රදේශය බලා යන්නවුන්ගේ හෝ ගියවුන්ගේ කථා ප්‍රවෘත්තියේ සුලමුලයි. කන්ද උඩරටට පමණක් නොව ලංකාවේ හැම දිසාවකටම ඇදුණු දකුණේ ව්‍යාපාරිකයෝ ව්‍යාපාර ලෝකයේ ජය කෙහෙලි නංවා තිබීම පසුපස කිසියම් ආශ්චර්යජනක සිද්ධියක් ඇතැයි අපේ රටේ සාමාන්‍ය ජනයා බොහෝ විට සිතනන්ට ඇත. නමුත් ව්‍යවසායකත්වය හදාරන්නාවූ පර්යේෂකයින් ඒ තුළ සැඟවුණු විද්‍යාත්මක පසුබිම හා ආර්ථික හා සමාජ බලවේග හැදෑරීම පිණිස දැන් දැන් වඩාත් යුහුසුළු වී තිබෙනවා.  අපේ රටේ වෙනත් පළාත්වල අයගේ හැසිරීම තුළ මෙවැනි ප්‍රබල හැසිරීම් රටාවක් මෙතෙක් විද්‍යමාන නොවන නිසා දකුණේ මුදලාලිගේ වංශකථාව අද පර්යේෂණයන්ට අළුත් විෂයයක් වී තිබෙනවා.

ඈත අතීතයේ සිට කන්ද උඩරට බලා මෙතෙක් ඇදුණු ව්‍යාපාරිකයන්ගේ ගණන සුළු පටු නොවේ. උඩරට වතුකරයේ ගහණ වූ ව්‍යාපාරික ‘ඉල්ලම්’ දුටු දකුණේ ඇතැම් වැඩිහිටියෝ කුඩා කොල්ලෝකුරුට්ටන්ද කැන්දා ගෙන යමින් වතුකරයේ ඉල්ලම් පාදා ගැනීමට විඳි දුක් කන්දරාව අපමණය.

ඔවුන්ගේ ජීවිත ගමන් මග එදා ඉතා අසීරු විය. ඉතා සෙමින් ඇරඹී ජීවිත ගමනේ දී මනා හික්මීමකින් යුක්ත වීම අනිවාර්ය දෙයක් වුණා. මුදලාලි කෙනෙක් වීම සඳහා පෙරුම් පිරීම එදා අනිවාර්ය වුණා.

කුස්සියේ වලං පිඟන් සේදීම හා ඉහුම් පිහුම් කිරීමෙන් ආරම්භ වන පාරමිත පිරීම අතු පතු ගෑම, මුං ඇටය, කඩල ඇටය, මිරිස් කරල පවා ඇහිදිමින් අරපිරිමැස්මේ හෝඩි පොත කියා ගැනීමට පමණක් සීමාවුණේ නැහැ.

a-village-shop-sudumenike-wijesooriya

කිරුම් මිනුම් කලාවට තරාදිය හුරු පුරුදු කරගැනීමත් ගොටු හදාගැනීම හා බඩු ඔතා දීමේ කලාව ඉගෙන ගැනීමත් කැෂියර් කූඩුවේ ගනුදෙනු  කිරීමත් පොත් පත් තබා ගැනීමත් වත්තේ පඩි දවසට ණය එකතු කර ගැනීමත් පොත්පත් තබා ගැනීමත් බැංකුවල මුදල් තැන්පත් කිරීමත් කරන්නේ ඊට පස්සේ.  ගනුදෙනුකරුවන්ට කරුණාවන්තව කතා බහ කිරීම, ඔවුන්ගේ සිත් සතන් දිනා ගැනීම සහ කොළඹ නගරයට විත් බඩු සොයා සුදුසු මිල ගණන්වලට බඩු මිලට ගෙන ඒවා ලොරිවලට පටවා ගැනීම වැනි අභ්‍යාසයන්හි යෙදීම එදා මුදලාලි ජීවිතයේ ආරම්භක පාඩම් කීපයක්.

මේ පාඩම් සියල්ල නිවැරදිව ඉගෙන ගැනීම හා පුරුදු පුහුණු කිරීම සඳහා ඇතැම් අයට අවුරුදු දහයක විස්සක පමණ කාලයක් ගෙවුණත් සමහරුන්ට අවුරුදු විස්සක් තිහක් පවා පමණද ඊට ගෙවී ගියා. අවුරුදු දහය දොළහ වයසේදී පාරමිතා පිරීමට පටන් ගන්නා පුංචි කොල්ලෝ කුරුට්ටන් ශරීරයෙන් කුඩා වුණත් මුදලාලි- අංකුර බව අනාගතය ඉවෙන් දුටු ඔවුන් වටහා ගෙන තිබුණා.

දකුණේ මුදලාලිලාගේ වංශකථාවේ ආරම්භය උදාවන්නේ මෙලෙසින් වුණත් ඊට තුඩු දුන් පසු බිම කර්කෂවුත් දැඩි පීඩනයකට ගොදුරුවුත් රළු පරළු ජීවිතයක් වීමත් පැහැදිලි අනාගතයක් ගොඩ නගා ගැනීමට හිතකර පරිසරයක් නොවීම ඉතා ශෝක ජනක යථාර්තයක් වුණා. පවුල් බරට ගොදුරු වීමත්, අධ්‍යාපනය බොහෝ දුරට ප්‍රාථමික මට්ටමට සීමා වීමත්, වැඩිහිටි දෙමව්පියන්ගේ ආර්ථික අමාරුකම් හා අවට ලෝකය වටහා ගැනීමේ තිබූ සීමිත ශක්තියත්, පරිසරයේ වියළි බව නිසා අහිමි වූ සිතේ තෙත් ගතිය විමුක්ති මාර්ගයක් ලෙස කාගේ හෝ පිහිටෙන් සිංහලේ (කන්ද උඩරට) බලා යෑම හෝ වෙනත් පළාතකට යෑම හෝ එදා ජීවිත ගමන් මඟේ මහබිනික්මනක් වැනි වුණා.

දකුණේ නිර්ධන පංතිය මුහුණ දුන් සම්පත් හිඟය හා ඇතැම් දෙනාගේ සිත්වලට ආවේණික වූ එඩිතරකම හා අවදානම් දැරීමේ ශක්තියද ක්‍රියාශීලී භාවය හා ජීවිතය විපරම් කර බැලීමේ ස්වාභායවද විමුක්ති කාරයකු වීමේ දැඩි චේතනාවද බොහෝවිට ඔවුන් විශාල බලවේග බවට පත් කළා. එක් පැත්තකින් ගොළු මුහුදද අනෙක් පැත්තෙන් ධනවතුන්ට හිමි වූ පොල්වතු යායන්ද නිසා අසරණ ගැමි පවුලකට ඉතිරි වූයේ අහසට දිගු කරගත් දෑත සහ කෙළවරක් නැති මහා පාර පමණි. දහ දොළොස් දෙනෙකුගෙන් යුත් පවුලක කොල්ලන්ට විමුක්ති මාර්ගයක් සොයා ගැනීම මේ නිසා අනිවාර්ය වූ අතර ගැමි පවුලක උපන් දුප්පත් කෙල්ලන්ට ගෙදර මුල්ලට වී ඉහුම් පිහුම්වලට උදව් වී අත්කමක් හෝ ගෙත්තමක් කිරීම එදා අනිවාර්ය වුණා. පරිසරයේ වේදනාවට මැදි වූ දුප්පත් පවුලක එක් දරුවෙක් මහන කිරීමෙන් අස්වැසිල්ලක් ලැබූ ඇතැම් දෙමව්පියන් වැඩිහිටියකුගේ පසුපස තවත් දරුවෙක් ‘උඩහ යැවීම’  අනුමත කළා. අකමැත්තෙන් නමුත් එකඟ වුණා. මේ ක්‍රියාදාමය දෙමව්පියන්ට ඇතැම් විට වේදනාකාර වුවත් එඩිතර වුත් ජිවිතයේ අවදානම දරන්නට සූදානම් වුත් ව්‍යවසායකත්වයේ අංකුර වූ තරුණ ගැටවුන්ට එය අපූර්ව අත්දැකීමක් වුණා.

පාසැල් ඉගෙනුම පස්වැනි පන්තියට හෝ හයවැනි පංතියට පමණක් සීමා කළ කුඩා කොල්ලෝ කුරුට්ටන් ජීවිත තක්සලාවෙන් ඉතිරි පාඩම් සියල්ල උගත හැකි බව ඉවෙන් මෙන් වටහා ගැනීමෙන් එදා පාසැල් ජීවිතයෙන් සමු ගත්තා. පාසැල් අධ්‍යාපනය ඉහළ මධ්‍යම පාන්තිකයින්ට හා සුපිරි පංතියේ එක්තරා පිරිසකට පමණක් සීමා වුනත් ඉන් පසුබට නොවූ දුප්පත් අසරණ පවුලක උපන් ඇතැම් දරුවන් තමන්ගේ ශක්තීන් සියල්ල උරගා බැලීමට ‘උඩහ ගමන’ උරගලක් බවට පත් කර ගැනීමට අදිටන් කර ගත්තා. මෙලෙසින් පා තැබූ ගමන කවදා ඇරඹී දැයි කීමට බැරි තරම් අතීතය කරා දිව ගියා. කෝපි කාලෙන් ඔබ්බට අතීත වංශ කතාව තමන්ගේ මතකයට පමණක් සීමා කළා. නමුත් ඒ වංශ කථාව තමන්ගේ මතකයට පමණක් සීමා කළා. නමුත් ඒ වංශ කථාව ශත වර්ෂ ගණනාවක් ඔස්සේ විකාශනය වූවක් බව ඈත අතීතයේ සිට දිස් වෙනවා.

පෘතුගීසීන්ද ඕලන්ද කාරයින්ද ඉංග්‍රීසීන්ද වෙළඳාම සඳහා පෙරදිග සොයා අවේ එවැනි ඉල්ලම් සොයා ගිය ගමනක ප්‍රථිපලයක් නිසා නොවේද? මුහුදු ගමන්වල යෙදුණු කොළොම්බස් වස්කොදගාමා ආදීන්ද  තම ජීවිත පරදුවට තබා මුහුදු රකුසා සමඟ පොරබදන්නට වූයේ තමන්ගේ ව්‍යවසායක ගුණය අත්හදා බැලීමේ අවශ්‍යතාවය නිසා නොවේද? ඈත බටහිර සිට විමුක්තිය සෙවූ බොහෝ දෙනා පෙරදිග ඊට කදිම තැනක් කොට සැලකුවේද තරුණ උන්මාදය නිසා නොව ව්‍යවසායක ශක්තින්වල අනියම් ප්‍රථිපලයක් නිසා විය නොහැකිද? ලෝකය පුරා මිනිසාගේ හැසිරීම් රටාව විග්‍රහ කළ විට සෑම රටකම පාහේ මෙවැනි ශ්‍රම සංචලන ලක්ෂණ වටහා ගත හැකිවේවි.

ගම්පෙරළිය පොතේ ජිනදාස ‘උඩහ බලා යෑම’ අතීත සිද්ධීන් නූතන පරපුරටද පෙන්නා දීමට දැරූ උත්සාහයකි. ඉන් අනතුරුව දකුණේ අප්පුහාමිලාගේ කතා ප්‍රවෘත්තිය උඩහ ගියවුන්ගේ සුල මුල කියා පෑමේ තවත් එක් පරිච්ඡේදයක් විය.

මුදලාලිලාගේ ශ්‍රම සංචලනය එදා කැපී පෙනුනත්, වර්තමානයේ එය විවිධ වෙස් ගෙන තිබෙනවා.  උඩහට පමණක් නොව කොළඹ බලා ඒම දක්වා අද එය විකාශනය වී තිබෙනවා. මාතර බාස්, නුවර බාස් ආදී වශයෙන් විවිධ පළාත්වල බාස්ලා අද කොළඹ නගරයට ඇදී ඒම ව්‍යවසායක ශක්තීන් අත්හදා බැලීමකට කළ හෘදයාන්ගම හැසිරීම් ලෙස පෙන්වා දිය හැකිය.

කාර්මික විප්ලවයට මෙන්ම  ඉන් අනතුරුවද ඇතිවූ විවිධ ප්‍රබෝධයන් නිසා විවිධ ස්වරූපයේ ශ්‍රම සංචලයන් ලොව පුරා ඇති වූවා. එකල අපේ රටේ රෙදි මිටිය කරට ගෙන ගමින් ගමට යමින් වෙළඳාම් කළ චීන  වෙළඳුන්ද ශ්‍රම සංචලනයට තවත් කදිම උදාහරණයක්. ගැමියන්ගේ අවශ්‍යකම් මැනවින් දුටු චීන වෙළෙන්දෝ ගැමි හදවත හා ඔවුන්ගේ රිද්මය මනා ලෙස වටහා ගනිමින් ඔවුන් සමඟ වඩාත් සුහද වුණා. ඉන්දීය දෙමළ ජාතිකයින් ලංකාවට විත් බෝතල් පත්තර එකතු කිරීමට රට වටා යෑමත් එවැනි තවත් කතාන්දරයක්. මේ සියල්ල ශ්‍රම සංචලනය විදහා පෙන්වන අපූරු අත්දැකීම්.

වැඩිහිටියෙකුගේ සෙවන යටතේ උඩහ යන කොල්ලෝ කුරුට්ටන්, ඉවෙන් මෙන් වටහා ගත් හැසිරීම් රටාවක් තුළ ජීවත් වීමේ අවශ්‍යතාවය දැන සිටියා. තමන්ගේ ස්වාමියාට කීකරු වීමද ලැදිව කටයුතු කිරීමද ඔවුන්ගේ ගමන් මගේ අනිවාර්ය අංගයක් වුණා. ස්වාමියාගේ හිත දිනා ගැනීමද භක්තිය හා ගෞරවය පෑමද කිසිඳු පලුද්දක් නැතුව තම ජීවිතය ගෙවීමද අනිවාර්ය වුණා. මෙසේ හැසිරුණු ඔවුන්ට ගුරු මුෂ්ටියෙන් තොරව ව්‍යාපාර ලෝකයේ හිරු රැස් දැක ගැනීමට ඉඩ පෑදීම ඔවුන්ගේ ජීවිත ගමනට ආශිර්වාදයක් වුණා.

උඩරටට ඇදුණු දකුණේ මුදලාලිලා ක්‍රමයෙන් වසර ගණනාවක් තිස්සේ තම ආධිපත්‍යය එහි තහවුරු කරන්න පටන් ගත්තා. හැටන්, තලවාකැලේ, පුන්ඩලුඔය, නාවලපිටිය, පසිමලේ, ලිඳුල, නුවරඑළිය, දික්ඔය, බගවන්තලාව, පුලියවත්ත, ආගරපතන, වැනි වතුකරයේ ඔය හැම පළාත් දක්වා විකාශනය කර ගත් තම වෙළදාම තවත් කෙනෙකුට නොදෙවෙනි ලෙස ඔවුන් අභිසේක ලබන්න වුණා.

ජාති භේදයෙන් තොරව ඇරඹී ඔවුන්ගේ වෙළඳාමට පදනම වුයේ මනුෂ්‍යත්වයයි. ‘වෙළෙන්දාට ජාති භේදයක් නෑ’ යන්න ඔවුන් ඇදහූ දහම වුණා.

දකුණේ හැදුණු වැඩුණු මුදලාලි පැටවුන් වතුකරයේදී දැක්වූ සාමාජානුයෝජනය ඔවුන්ගේ ජයග්‍රහණයේ අත්තිවාරම වුණා. ජාති භේදයෙන් තොරව ඇරඹී ඔවුන්ගේ වෙළඳාමට පදනම වුයේ මනුෂ්‍යත්වයයි. ‘වෙළෙන්දාට ජාති භේදයක් නෑ’ යන්න ඔවුන් ඇදහූ දහම වුණා.

තමන්ගේ ගනුදෙනුකරුවන්ට ආචාරශීලීව, සුහදව කටයුතු කිරීම හා ගනුදෙනුකරුවන්ට ඉතා ඉහලින් සැලකීම ඔවුන්ගේ හික්මීමේ අනිවාර්ය අංගයක් වුණා.  පළමුව තම ගනුදෙනුකරුවන්ට අසුන් ගැනීමට සැලසීම හා ඔවුන්ගේ දුකසැප විමසීම ඔවුහු පුරුද්දක් කර ගත්තා. ඈත දුර ගෙවා පැමිණෙන ගනුදෙනුකරුවන් අසුන් ගැනීමට සැලසීම ඔහුගේ වෙහෙස නිවා ගැනීමට කදිම මොහොතක් වුණා.  සැප දුක් විමසමින් තේ කෝප්පයක් දීම, තේ උපන් රටේදී සුළු වියදමකින් කළ හැකි ඉතා ඉහළ සත්කාරයක් වුණා.  අනතුරුව ඔවුන්ගේ අවශ්‍යතාවන්ට අනුව බඩු සියල්ල ලබා දී පසුව ගණන් හිලව් බලා ඉන් කෙළවර ඔවුන්ට තුටු පඬුරු වශයෙන් උක් හකුරු, උම්බලකඩ, බීළුණු වැනි දෙයක් දීමට තරම් මුදලාලිලා කෘත ගුණ වුණා. මේ ව්‍යාපාර රටාව දිගින් දිගටම ගෙන ගියේ හෙට දවසේදී තම ගනුදෙනුකරුවා විසින් තවත් ගනුදෙනුකරුවන් කණ්ඩායමක් තමාට ගෙන එන බව හොඳාකාරවම දන්නා නිසාමය. “පාරිභෝගිකයා දෙවියකු” ලෙස සැළකූ ඔවුන් කිසි විටකත් තම ගනුදෙනුකරුවා පහත් කොට සැළකුවේ නැත.  ඔවුන්ගේ ගෞරවය හොඳ හිත දිනා ගැනීම හා මනුෂ්‍යත්වයෙන් යුතුව සැලකීම ඔවුන් ඉච්ඡාවෙන් කළ දෙයක් නොව හද පත්ලෙන් ඉස්මතු වූ හැසිරීමක් වුණා.

තම වෙළඳාම්  කිරීමේදී පරිසරය වඩාත් සුහද කර ගැනීම ඔවුන් අනිවාර්ය කොට සැළකුවා. දකුණේ මුදලාලි හා වතුකරයේ දෙමළ ජනතාව සමාජ කොටස් දෙකක් නොව එකක් කොට සිතීමට පුරුදු වීම හා ඒ අනුව හැසිරීම ඔවුන්ගේ ජීවිත අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීමට බෙහෙවින් උදව් වුණා.  කුඩා කල සිට දෙමළ භාෂාවට හුරුවන්නා වූ ගෝල පිරිස වැඩිහිටි මුදලාලිබවට පත්වන විට වතුකරයේ දෙමළ ජනතාව සමඟ ඉතා සුහදව ජීවත් වීමට අවශ්‍ය භාෂා දැනුම හොඳින් ලබා තිබීම ඔවුන්ගේ ව්‍යපාර වඩාත් දියුණු කර ගැනීමට බෙහෙවින් උදව් වුණා.

තමන්ගේ ගනුදෙනුකරුවන්ට ඉතා ඉහළින් සැලකීමේ පුරුද්ද අගය කළ මුදලාලිලා උඩඟුකමින් තොරවීම අනිවාර්ය ලෙස සැලකුවා. දෙමළ ජනතාවට හැකි අයුරින් උදව් පදව් කිරීමද ඔවුන්ගේ උත්සවවලට සහභාගී වීමද ඒවාට ආධාර කිරීමද කෝවිල් කරා යෑමද තම ව්‍යාපාර ජීවිතයේ අවශ්‍ය අංගයක් කොට සැලකූ මුදලාලිලා සමාජානුයෝජනය නිවැරදිව වටහා ගත් පුද්ගල කොටසක් වුණා. ඒ අනුව තම හැසිරීම් රටාව තීරණය කළ ඔවුන් එය ව්‍යාපාර ලෝකයේ අවශ්‍ය අංගයක් කොට සැලකුවා.

මුදලාලි- අංකුර ලෙස ගෝල ජීවිතයක් ගෙවීම ව්‍යාපාර ජීවිතයට අනිවාර්ය අංගයක් ලෙස ඔවුන් කල්පනා කළා.  තමන්ගේ ස්වාමියාට  කීකරු වීමද දඩබ්බර නොවී සිටීමද ස්වාමියාගේ විශ්වාසය දිනා ගැනීමද ශිලාචාරව හැසිරීමද හොඳ ගතිගුණ පුරුදු කර ගැනීමද පරිසරය මැනවින් වටහා ගැනීමද ඔවුන් තම ජීවිතයේ අනිවාර්ය අංග කර ගත්තා. ගෝල ජීවිතය තුළ ලද මෙම හික්මීම ව්‍යාපාර ලෝකයේ මුදුන් පෙත්තට යාමට ඔවුන්ට විශාල ආධාරකයක් වුණා.

වැඩිහිටි මුදලාලිලා නිරතුරුවම ගෝල පරපුරක් හැදීම කෙරෙහි දැක් වූ උනන්දුව දකුණේ මුදලාලිලාගේ වංශ කථාවේ තවත් අපුරූ පරිච්ඡේදයකි.

වැඩිහිටි මුදලාලිලා නිරතුරුවම ගෝල පරපුරක් හැදීම කෙරෙහි දැක් වූ උනන්දුව දකුණේ මුදලාලිලාගේ වංශ කථාවේ තවත් අපුරූ පරිච්ඡේදයකි. තනියෙන් හැදෙනවා යන මතය ඉවත දැමු දකුණේ මුදලාලිලා පළමුව තමන්ට නෑ සම්බන්ධයක් ඇති කුඩා දරුවන් ගෝලකමට හදා ගැනීමට පෙලඹුණා.  දෙවනුව තමන්ගේ ගමේ අසල්වාසීන්ගේ වඩාත් හිතවත් වුත් හොඳ හැදියාවක් ප්‍රදර්ශණය කළාවුත් අය තෝරා ගෙන උඩහ කැන්දා ගෙන යෑමට ඔවුන් පෙළඹුණා. මේ කුඩා ගෝලයින් වයස යත්ම මුදලාලි ව්‍රුතයට පත්වීම ඔවුන්ගේ විශාල සන්තෝෂයට හේතු වුණා.

දකුණේ සිට උඩරටට ආ වැඩිහිටි මුදලාලි කෙනෙකුට ඇතැම් විට මුදලාලිලා ලෙස අභිෂේක ලැබූ ගෝල මුදලාලිලා විසිපහක් පමණ සිටීම ඔවුන්ගේ ජීවිතයේ විශේෂ ලක්ෂණයක් වුණා.  ශත වර්ෂ ගණනාවක් තිස්සේ නොකැඩී ව්‍යාපාර ලෝකය උඩහ පළාතේ නොහොත් සිංහලේ ගෙන යෑමට මූලිකව උදව් වූයේ මෙම ගෝල පරම්පරාව ගොඩ පරම්පරාව ගොඩ ගැනීමෙහිලා තිබු මෙම හික්මීමයි.

තනිව රජ වීමේ ආත්මාර්ථ ගුණය බැහැර කළ මුදලාලිලා තම වංශය නොකැඩී ගෙන යාමේ අවශ්‍යතාව මැනවින් වටහා ගෙන සිටියා. තමන්ගේ ජීවීත කාලය අවසන් වීමත් සමග එතැනට තම පුතුන් හෝ නෑදෑයන් හෝ නැත්නම් වෙනත් අයකු පත්වීමේ අවශ්‍යතාව ඔවුන් ව්‍යාපාරයකට අවශ්‍ය හික්මීමක් ලෙස සැලකුවා.  මේ නිසා උඩරටට ඇදුණු දකුණේ මුදලාලිලාගේ වංශ කථාව නොකැඩී ගලා යන දිය දහරක් සේ අතීතය, වර්තමානය හා අනාගතය ඔස්සේ එකට සම්බන්ධ වී පෝෂණය වුණා. ගෝල පරපුරක් බිහි කිරීමෙහිලා ලා දැක්වූ මෙම හික්මීම නිසා ව්‍යාපාර පැවැත්ම ලිඛිතව සටහන් කිරීම හෝ පොත් කණ්ඩයක් වශයෙන් පළ කිරීම හෝ වෙනුවට එම ගෝල පරපුර ඊට සුදුසු ප්‍රබල ආදේශකයක් වුණා.

ගෝලයින්ට අවශ්‍ය හික්මීම ලබා දීමට ඔවුන් මුල් වුවා පමණක් නොව දෙවනුව ඔවුන්ට උචිත කඩ කෑල්ලක් සොයා දී බෞතීස්ම කරවීමද බොහෝ මුදලාලිලා අතින් සිදු වුණා. දකුණේ වංශ කථාව විග්‍රහ කරන්නකුට මෙම හැසිරීම ව්‍යාපාර ලෝකයේ අවිච්ජින්න භාවය පවත්වා ගෙන යෑමට ප්‍රබල සාධකයක් වූ හැටි මැනවින් වැටහේවී.

දකුණේ සිට උඩහට ඇවිත් අති ප්‍රසිද්ධ ව්‍යාපාරිකයන් බවට පත් වූ ව්‍යාපාරිකයින් ගේ ව්‍යාපාරික හික්මීම හා චරිතවත් බව එකිනෙකට සම්බන්ධ හෙයින් ව්‍යාපාරික දියුණුව කඩිනම් වුණා.  චරිතවත් බවින් තොරව ව්‍යාපාරික කටයුතු කරගෙන යාමට නොහැකි බව විශ්වාස කළ බොහෝ ව්‍යාපාරිකයෝ තමන්ගේ චරිතයද ව්‍යපාරික ජීවිතයද එකක් කොට සැලකුවා. මත්පැන් භාවිතය ව්‍යාපාරික ලෝකයේ කඩා වැටීමට ප්‍රබල සාධකයක් කොට සැලකූ බොහෝ ව්‍යාපාරිකයෝ මත්පැන් කටගෑම බුදු දහමින් පාලනය කළ දෙයකට වඩා ව්‍යාපාර ජීවිතයෙන් පාලනය කළ දෙයක් බවට පත් කළා. මෙම සදාචාර සම්පන්න ජීවිතය නොයෙකුත් ආකාරයෙන් ව්‍යාපාර ලෝකයට ඇතුල් වුණා.

ගෝලයින්ට අවශ්‍ය හික්මීම ලබා දීමට ඔවුන් මුල් වුවා පමණක් නොව දෙවනුව ඔවුන්ට උචිත කඩ කෑල්ලක් සොයා දී බෞතීස්ම කරවීමද බොහෝ මුදලාලිලා අතින් සිදු වුණා.

දකුණේ වංශ කථාව විග්‍රහ කරන්නකුට මෙම හැසිරීම ව්‍යාපාර ලෝකයේ අවිච්ජින්න භාවය පවත්වා ගෙන යෑමට ප්‍රබල සාධකයක් වූ හැටි මැනවින් වැටහේවී.

ඔවුන්ගේ ලාභ අනුපාතිකයද නිතරම තීරණය වුයේ එවැනි බලපෑමකට හසු වීමෙනි. පිරිවැටුම් බදු නොමැති විටක ලාභය සියට දෙකත් පහත් අතර වීම හොඳටම ප්‍රමාණවත් බව ඔවුන්ගේ හැඟීමයි. ගනුදෙනුකරුවන්ට කොල්ල කෑමේ ප්‍රතිපත්තියක් නොමැති ඔවුන් නිතරම දහමින් යමක් උපයා ගැනීමට අවශ්‍ය හික්මීම ප්‍රදර්ශනය කිරීම ඉතා වැදගත්. ව්‍යපාරික ලෝකයේ පැවැත්ම හා ඊට අවශ්‍ය හික්මීම ප්‍රදර්ශනය කළ ඔවුන් තම ගෝල පරපුරටද ව්‍යාපාරික දිවි පෙවෙත මැනවින් පෙන්වා දුන්නා. ඔවුන්ගේ මෙම ව්‍යවසායක ගුණාංග ඉතා නිවැරදි මගක ගමන් කළ නිසා දකුණේ ව්‍යවසායක පරම්පරාවන් නොකැඩී ඉතිහාසය පුරා විහිදී ගියා.

 

මෙම ගුණාංග පුරුදු පුහුණු කළ ගෝල මුදලාලිලා නිරතුරුව තමන්ට මඟ පෙන්වූ පියකුගේ ගුණාංග හෙළි කළ වැඩිහිටි මුදලාලිලාට ගෞරව සම්ප්‍රයුක්ත බවක් පෙන් වූ අතර නිතර එවැනි අයගේ මග පෙන්වීම හා උපදෙස් ලබා ගැනීමෙහිලා නිරත වුණා. කැකිරාවේ අබේපාල නමැති අයකු සිහිපත් කරන එක් වැඩිහිටි මුදලාලි කෙනෙකු ඔහු තමන්ගේ හොඳම ගෝලයකු ලෙස පෙන්වා දීමට පවා එඩිතර වුවා. තමා ව්‍යාපාර කටයුතු කළ හැටන් නගරය ශුද්ධ නගරයක් කොට සැලකූ බොහෝ ව්‍යාපාරිකයෝ තමන්ගේ අවසන් හුස්ම ටික පවා හෙලීමට සුදුසු භූමියක් කොට සලකා ඇත්තේ තමන් උපන් ගම නොව ව්‍යාපාරික කටයුතු පවත්වා ගෙන ගිය එම නගරයන්ය.

සිංහලේ බලා ඇදුණු දකුණේ මුදලාලිලාගේ ව්‍යවසායක ගුණාංග මතු පිටින් ඉස්මතු නොවුවද ඔවුන්ගේ ජීවිතය පුරා නොකැඩී නොබිදී ගලා ගොස් ඇත්තේ එම බලවේග සමුදායන්ය. ඔවුන්ගේ නිර්භීත භාවය, එඩිතරකම හා නොසැලෙන ගුනය වඩාත් ඉස්මතු වූ ගුණාංග අතර කැපී පෙනුනා. හය හතර නොදත් දරුවකු ලෙස තම දෙමව්පියන්ගෙන් මිදී උඩරට බලා යෑමට තරම් එඩිතර වීම ඔවුන්ගේ නිර්භීත භාවයට කදිම උදාහරණයක්. දරිද්‍රතාවයට හා පීඩනයට හසු වූ පරිසරයකට මුහුණ දුන් ගැටවරයින් ඉන් මිදී හරි හම්බු කොට අළුත් ජීවිතයක් ගොඩ නගා ගැනීමේ කාර්යයට මුහුණ දුන්නේ ඔවුන් තුළ සැඟවුණු නායකත්වය, වීරත්වය හා ගොඩ නගා ගත් ස්ථිර සාර ජීවිත ඉලක්කයන් නිසාය. තමන්ට නුහුරු පරිසරයක වෙළඳාමේ ශිල්පය හැදෑරීම සඳහා කුස්සියෙන් පටන් ගෙන විනයකර්ම යෙදෙන කොල්ලෝ කුරුට්ටන් ජීවිතය විනිවිද දැකීමට හැකි තැන්පත් කමක් කුඩා කල සිට ලැබුවේ ඔවුන්ගේ ව්‍යවසායක ශක්තින් මෝරා වැඩෙන නිසාය. ගමේ පරිසරය යහපත් අනාගතයක් ගොඩ නගා ගැනීමට හිතකර නොවන විට ඉන් මිදීමේ දුරදක්නා නුවණ ඔවුන් ලබා ගත්තේ පරිසරය විනිවිද දැකීමේ නිසඟ ගුණය නිසාය.

ඔවුන්ගේ ව්‍යාපාර දෘෂ්ටිය කිසි විටෙකත් කොල්ල කා ගැනීමේ හා කල දුටු කල වල ඉහගත් ප්‍රතිපත්තියකින් සමන්විත වුයේ නෑ. එවැනි නොහික්මුණු හැසිරීම් රටාවක් පෙන්වීමට කිසි විටකත් ඔවුන් ඉදිරිපත් නොවීම ඔවුන්ගේ ව්‍යාපාර ජීවිතයට නව අර්ථයක් වුණා. ගනුදෙනුකරුවාට නිසි ගෞරවය හා භක්තිය පෑ ඔවුන් තම ව්‍යාපාරය ඔවුන්ගේ ප්‍රසාදය මත මුළුමනින්ම රැඳී ඇති බව විශ්වාස කළා. ඔවුන්ට ණයට බඩු විකිණීම ඔවුන් තම ව්‍යාපාරයේ අවශ්‍ය අංගයක් කොට සලකා ඊට අවශ්‍ය විද්‍යාත්මක පදනම ජීවිත අත්දැකීම් තුළින් ඊට එක් කළා. ණයට දීමේ අනුපාතය ව්‍යාපාරයේ අනාගතය සඳහා අවශ්‍ය වූවද එය ලාභ ප්‍රතිශතයට අනුව තීරණය විය යුතු බව ඔවුන් කල්පනා කළා. වත්තේ පඩි දිනය ඔවුන්ගේ ව්‍යාපාර දෘෂ්ටිය මැනවින් පිළිබිඹු කරන්නක්. ගනුදෙනුකරුවා වෙත තබා ඇති විශ්වාසයට කිසිදු පලුද්දක් කර නොගන්නා ඔවුන් ණය දීමේ අනුපාතය ව්‍යාපාරයට දැරිය හැකි අවදානමට ගැලපෙන පරිදි සකස් කර ගැනීමට පෙළඹුණා. එසේ ණයට දීම සමාජානුයෝජනයේ කොටසක් ලෙස සැලකු ඔවුන් ව්‍යාපාර පැවැත්ම පුද්ගල කොටස් දෙකක එකතුවක් ලෙස වටහා ගනිමින් ඔවුන්ගේ ජීවිත රටාවට ගැලපෙන සේ තම ව්‍යාපාරයේ දෘෂ්ටි කෝණය තීරණය කළා.

ණයට බඩු විකිණීම ඔවුන් තම ව්‍යාපාරයේ අවශ්‍ය අංගයක් කොට සලකා ඊට අවශ්‍ය විද්‍යාත්මක පදනම ජීවිත අත්දැකීම් තුළින් ඊට එක් කළා.

ගනුදෙනුකරුවා වෙත තබා ඇති විශ්වාසයට කිසිදු පලුද්දක් කර නොගන්න ඔවුන් ණය දීමේ අනුපාතය ව්‍යාපාරයට දැරිය හැකි අවදානමට ගැලපෙන පරිදි සකස් කර ගැනීමට පෙළඹුණා.

දෙවන ලෝක යුද්ධ සමයේදී කොටුවට බෝම්බ දැමූ දවසක හැම දෙනාගේම අවවාදය නොතකා තමන්ගේ කඩයට බඩු පටවා ගැනීමට කොළඹ නගරයට පා තැබූ අල්ලිස් අප්පුහාමි මුදලාලි තම එඩිතරකම හා තාරුණ්‍යය සිහිපත් කරන්නේ මඳක් හෝ නොසැලී යෝධයකු සේ තම අතීතය දෙස හැරී බැලීමෙනි.  ව්‍යවසායක ශක්තිය සෑම විටම දැඩි අවදානම හා සම්බන්ධ වූවක්.  අල්ලිස් අප්පුහාමි මුදලාලිට දැඩි අවදානම දින චරියාවේ එක් සාමාන්‍ය සිද්ධියක් පමණය.

ව්‍යවසායක ශක්තිය ප්‍රගුණ කළ හැක්කේ ගනුදෙනුකරුවන්ට පුර්ණ භක්තිය පෙන්වීමෙන් බව විශ්වාස කළ ඔහු තම සදාචාර ජීවිතය ඊට ආදේශ කර ගත්තා. “කිසිවකුටත් මම වරදක් කර ඇත්තේ නෑ” යනුවෙන් අතීතය ගැන උදම් අනන ඔහු ඉතා දැහැමින් සිය කටයුතු කර ගෙන ගිය බව පෙන්නුම් කළා.  කපටි ලෙස හෝ වංචා ලෙස හෝ මුදල් හරි හම්බ කිරීමට කිසිම මොහොතක උත්සහ නොකළ ඔහු එදා පැවති ක්‍රමයට අනුව තමන් උපයා ගත් මුදලින්ම තම ව්‍යාපාරය පුළුල් කිරීමට වෙහෙසුණා. ණය වීම ඔහුගේ ජීවිතයට නුහුරු කාරියක් වුණා. බුදු දහමින් ලැබූ ඔහුගේ හික්මීම තම අවුරුදු 70ක පමණ වූ ව්‍යාපාර ජීවිතය ගෙන යෑම සඳහා යොදා ගත්තා.

මෙවැනි පුළුල් ව්‍යාපාර දෘෂ්ටියක් ප්‍රගුණ කළ ඔවුන් දකුණේ මුදලාලිලාගේ වංශකථාව ව්‍යවසායකත්වය හදාරන්නවුන් සඳහා ඉතා අගනා පුරාවස්තුවක් බවට පත් කළා. ඉතිහාසයට නව අර්ථයක් දීම සඳහා මෙම පුරාවස්තු කැණීමෙන් හා පැහැදිලි අනාගතයක් ගොඩ නගා ගැනීමට අවශ්‍ය නිවැරදි දැනුම අපට ලබා ගන්න පුළුවන්.

ශ්‍රී ලංකාව වැනි පුංචි රටකට සිංහලේ බලා හා දකුණේ මුදලාලිලාගේ හැසිරීම් රටාව නව විලාසිතාවක් වුවද මුළු ලොව පුරාම ව්‍යවසායක හැසිරීම් රටාව පොදු මුලධර්ම කීපයක් මත පදනම්ව ඇති බව පර්යේෂණ මගින් හඳුනාගැනීම එතරම් අසීරු කරුණක් වන්නේ නෑ. එසේ වුවද විවිධ සංස්කෘතීන්ට අනුව ව්‍යවසායක අනන්‍යතාවය වෙන් වෙන්ව ගොඩ නැගෙනු ඇත. රටක ප්‍රගතිය හා ආයෝජන රටාව තීරණය කිරීමේදී රට තුළ පවත්නා ව්‍යවසායක හැසිරීම්රටාවන් නිවැරදි පරිදි විග්‍රහ කිරීම සාර්ථක ආර්ථික පදනමක් බිහි කිරීමෙහිලා බෙහෙවින් උදව් වේවි.

න.බ. කුලසේකර
ජාතික සංවර්ධන බැංකුව

අත්වැල ව්‍යාපාරික සඟරාවේ 1998 නොවැම්බර්/දෙසැම්බර් කලාපයෙනි.

Images:

Relaxed Afternoon by Nilantha Vidanarachchi via saatchiart.com

A Village Shop by Sudumenike Wijesooriya via FineartAmerica.com

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: