“වාසනාව සුදානම් සිතට වඩාත් නැඹුරුවේ”,
කියා කීවේ ලුයී පාස්චර්ය.
ව්‍යාපාරික සැලසුම් සාදන්නට ඔබට උපකාර වන වැඩමුළුවක් පවත්වන්නට සැරසෙන මට, ඔබට ඉතා වටිනා ලිපියක් කියවන්නට ලැබුණේ Harvard Business Review – Management Tip of the Day දෛනික ඊමේල් පණිවුඩය මගිනි.
මෙන්න එහි අදහස.
ව්‍යාපාරයක් ඇරඹුම පහසු නැත. ඇරඹු ව්‍යාපාරය ප්‍රමාණාත්මකව දියුණු කරගැනීම ඊටත් වඩා දුෂ්කරය. එබැවින් ඔබ කැපවීමෙන් කටයුතු කල යුතුය.
ඔබ කලක් තිස්සේ යවන්නට සිහින මවමින් සිටි “මම මෙය අතහරිනවා!” කියන ඊමේල් පණිවුඩය යවන්නට පෙර ඔබට පුද්ගලිකව සම්බන්ධතාවක් ඇති ප්‍රශ්නයක් සොයා එය විසඳන්නට මග සොයාගන්න. එය ඔබේ දැනට ඉන්න කර්මාන්ත හෝ ව්‍යාපාර ක්ෂේත්රයේ ඔබ හඳුනාගත් දුර්වලතාවයක් විය හැකිය. නැතිනම් ඔබ ව්‍යාපාරික ලොව විසින් හරි හැටි අවශ්‍යතා පිරිනොමහන, හෝ අමතක කර දමා ඇති පාරිභෝගික කාණ්ඩයකට අයත් කෙනෙක් විය හැකිය. නැතහොත් ඔබට නිතර මුහුණ දෙන්නට වන සමහට ගැටළු හෝ අවස්ථා තව බොහෝ අයටද පොදු දේ විය හැකිය.
මීළඟට ඔබ කල යුත්තේ ඔබ ඔබගේ පාරිභෝගිකයාට ලබා දෙන අගය ගැන පැහැදිලි අදහසක් සිතාගැනීමය. ඔබ ඔවුනගේ ජීවිත පහසු, ප්‍රසන්න කරන්නේ කොහොමද? වඩාත් හරවත් කරන්නේ කොහොමද? ඔබ ඔබට හැකි හැම විටම උපරිමයෙන් ඔවුනගේ දිවියට අගයක් එකතු කරන්නේ කොහොමදැයි ඔබගෙන්ම විමසා බලන්න.
ඔබ කොයි ආකාරයෙන් ඔබගේ ව්‍යාපාරික අදහස වෙත එළඹුනද, මේ අවස්ථාවේ මේ දේ කරනු හැර වෙනත් විකල්පයක් මා හට නැතැයි යන හැගීම ඔබ තුල බිහිවිය යුතුය.
මෙම ක්‍රමයට ව්‍යාපාරික අදහසක් සොයාගන්නට ඔබට, උදෑසන පිබිදී “මේ ප්රශ්නය වෙනත් කෙනෙකුගේ ප්රශ්නයකි” යයි සිතීමට වඩා ඔබේ දවස එමගින් ප්‍රබෝධමත් වනු ඇත. එම ප්රශ්නය, ගැටලුව හෝ හිසරදය විසඳීමට ඔබ තවත් උනන්දු වනු ඇත.
තමා පෙලූ ප්‍රශ්නයකට විසඳුම් සෙවීම ගැන උදාහරණයක්
මෙය කියවන විට මෙසේ ව්‍යාපාරික අදහසක් වෙත එළැඹුන පුද්ගලයෙක් මගේ මතකයට නැගේ. ඒ මගේ පියාය.
ශ්‍රී ලංකා මර්චන්ට් බැංකුවේ ආරම්භක සේවකයෙක් සහ උපදේශකයෙක් මෙන්ම කළමනාකාරීත්ව සහ අලෙවිකරණ උපදේශකයෙකුව සිටි මගේ පියා, නිහාල් දිසානායක, අත්වැල ව්‍යාපාරික සඟරාව අරඹන්නට යොමු වුනේ ශ්‍රී ලංකාවේ සුළු හා මධ්‍යම ව්‍යාපාරිකයන්ට කතාකරන්නට පොදු ජන මාධ්‍ය වලින් ඔබ්බ්බට කිසිම ක්‍රමයක් නොදුටු හෙයිනි. නාමල් ඒකක භාරයේ අලෙවිකරණ කටයුතු මෙහෙයවන විට සහ එහි ප්‍රධාන විධායක ලෙස සේවය කරන විටද මේ හිඩැස ඔහු පෙළීය.
ආයෝජන ගැන සුළු ව්‍යාපාරිකයා දැනුවත් කරන්නට ක්‍රමයක් නොතිබීම ඔහු දුටු ව්‍යාපාරික අවස්ථාවකි. එලෙසම ශ්‍රී ලංකාවේ, සිංහලෙන් කියවන, ඉංග්‍රීසි නොකියවන සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකන් සහ ව්‍යවසායක අංකුර දිරිමත් කරන්නටද නිශ්චිත ක්‍රමයක් නොතිබුණි. එම හිදැස් දෙකම එකවර පුරවන්නටයි ඔහු අත්වැල ව්‍යාපාරික සඟරාව නිර්මාණය කළේ.
ඔහු අත්වැල ඇරඹුවේ නාමල් එකක භාරයෙන් විශ්‍රාම ගත් දිනට පසුදිනයේය. එසේ වුවද, එය ඔහු වසර 15ක පමණ කලක් තිස්සේ දුටු සිහිනයකි. සැලසුම් කළ ව්‍යාපෘතියකි. ඔහුගේ එකම දරුවා වන මා මගේ අධ්‍යාපන කටයුතු අවසන් කර පුද්ගලික ක්ෂේත්රයේ රැකියාවක් ලබාගැනීම සමගම ඔහුට විශ්‍රාම යන්නට නිදහස ලැබුණේය. ඔහුගේ සිහිනය සැබෑ කරගන්නට ඉඩ සැලසුණේය. එබැවින් ඔහු තම විශ්‍රාම දිවියේ එක දිනක් හෝ අපතේ නොයැවීය.
සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයා දැනුවත් කර දිරිමත් කරන්නටත්, එම ව්‍යාපාර සංවර්ධන මංපෙත් කරා යොමු කරන්නටත් අත්වැල ව්‍යාපාරික සඟරාව මගින් ඔහුට හැකි විය.
එලෙසම, ශ්‍රී ලංකික ව්‍යාපාරිකයාට ඍජුව කතාකරන්නට මාධ්‍යයක් නොමැතිව, ජන මාධ්‍ය හරහා පමණක් එම කාර්යය ඉටු කරගත් ව්‍යාපාරික ලොවට ව්‍යාපාරිකයා සමග කෙලින්ම කතා කරන්නට, ඔහු හෝ ඇය තම විශේෂ නිෂ්පාදන හෝ සේවා ගැන දැනුවත් කරන්නට හැකි ක්‍රමයක් අත්වැල ව්‍යාපාරික සඟරාව විසින් බිහිකර දුන්නේය.
මෙය සකස් කළේ Harvard Business Review – Management Tip of the Day ඊමේල් පනිවුඩය ඇසුරිනි. එය එමිලි හේවර්ඩ් විසින් රචිත “So You Want to Be an Entrepreneur” කෘතියෙන් උපුටාගත්තකි.
Leave a Reply