ස්වයං අවබෝධයෙන් ඔබට ඔබේ ඉරණම වෙනස් කළ හැකිය!

“ජීවිතය වෙනස් කිරීමට හැකි එක පොතක නමක් යමෙකු ඉල්ලා සිටියහොත්, ඔබ කුමන පොතක් යෝජනා කරන්නේද?” මිතුරෙකු මගෙන් විමසුවා.

කිසිම පැකිලීමකින් තොරව මා දුන් පිළිතුර: කැරොල් ඩ්වෙක්ගේ Mindset: The New Psychology of Success යන කෘතියයි. දක්ෂතා, බුද්ධි මට්ටම(IQ) සහ චරිත ලක්ෂණ වැනි මිනිසුන් සහජයෙන් ලෝකයට ගෙන එන දෙයින් ඔවුන් සීමා නොවන බව පෙන්නුම් කරන පොතකි මේ. දියුණු වීමට අවශ්‍ය අයට ආයාසයෙන් එය කල හැකි බව එම කෘතියෙන් පැහැදිලි කර දෙයි. 

ස්ථාවර බුද්ධිය යනු ඊයේ න්‍යායයි!

වසර ගණනාවක් පුරා, අපි කොයි කවුරුත් සරල IQ පරීක්ෂණයකින් මැනිය හැකි ස්ථාවර බුද්ධි මට්ටමකින් උපත ලබන බව විශ්වාස කළා. ඔබ කොතරම් ඉගෙන ගත්තත්, කොතරම් වෙහෙස මහන්සි වී වැඩ කළත් ඔබේ බුද්ධිය එලෙසම පවතින බවයි පොදු විශ්වාසය වුණේ. 

මෙන්න ශුභාරංචියක්: එය බොහෝ දුරට ඊයේ න්‍යායයි.

වසර 30 කට වැඩි කාලයක් පුරා කැරොල් ඩ්වෙක් විසින් Stanford විශ්වවිද්‍යාලයේ කරන ලද පර් යේෂණ පැහැදිලි කරන්නේ ඔබ ලබා උපන් දේ නොව වැදගත් වන්නේ ඔබේ මනස බවයි. 

අපගේ මොළය සහ බුද්ධි මට්ටම ආයාසය තුලින් වැඩිදියුණු කළ හැකිය

ශරීරය මෙන් මොළයද නිශ්චිත වයසකදී වැඩීම නතර කරන බව අප දිගු කලක් තිස්සේ විශ්වාස කළා. එය සත්‍ය නොවන බව මේ වන විට පැහැදිලියි. අපගේ මොළය දිගින් දිගටම වෙනස් වෙමින් අප මිය යන තෙක් අනුවර් තනය වනවා. අප ඉගෙන ගන්න දෙයින් සහ අපගේ අත්දැකීම් තුලින් අපගේ මොළයේ සෛල සහ ස්නායු සම්බන්ධතා අලුතින් සැකසෙනවා. අප අත්විඳින සෑම අත්දැකීමක් සමඟම මොළය තුළ නව සම්බන්ධතා ජාල උපත ලබනවා. අපගේ මොළය මෙසේ වැඩීමට සහ වෙනස්වීමට වන ගතික හැකියාව හඳුන්වන්නේ ප්ලාස්ටිකතාවය (plasticity/neuroplasticity) කියාය. එම හැකියාව තුලින් අප අලුත් දේ අත්විඳින විට, ඉගෙන ගන්නා විට හෝ කටපාඩම් කරන විට ඇති වන ක්‍රියාකාරී වෙනස්කම්වල ප්‍රතිඵලයක් ලෙස අපගේ ස්නායු මග ප්‍රතිසංවිධානය වෙනවා. 

මෙම ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ජීවිත කාලය පුරාවටම සිදුවන විවිධ ක්‍රියාවලි (processes) වල ප්‍රතිපලයකි. කලින් කලට එක් එක් ආකාරයේ  ආකාරයේ ප්‍රතිසංවිධාන කටයුතු වඩාත් ශීග්‍ර වී පෙරමුණට එනවා. වොෂින්ටන් විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රීය වෙබ් අඩවියට අනුව මෙම ස්නායු ප්ලාස්ටිකතාවය ඇතිවන්නේ මොළයේ සාමාන්‍ය වැඩීමේදී නොමේරූ මොළය ප්‍රථමයෙන් වැඩිහිටි විය හරහා සංවේදී තොරතුරු සැකසීමට පටන් ගන්නා අවස්ථාවේ සිටමය. ජීවිතයේ එක එක අවධියේදී සංවර්ධන ප්ලාස්ටිකතාවය, ඉගෙනීමේ හා මතකයේ ප්ලාස්ටිකතාවය යනාදී හැකියාවන් ඉදිරියට එනවා. 

සාමාන්‍ය මොළයේ ක්‍රියාකාරිත්වය නැවතුන, නැතිනම් මොළයට හානියක් හෝ තුවාලයක් වූ විට ස්නායු ප්ලාස්ටිකතාවය ඉදිරියට එමින් එම අහිමි වූ ක්‍රියාකාරිත්වයෙන් වන හානිය මගහැරගන්නට අදාල වන යාන්ත්‍රණයක් ලෙසද කටයුතු කරනවා. 

අලුත් දේවල් ඉගෙන ගැනීම තුළින් අපගේ මොළයේ ධාරිතාව සහ බුද්ධිය වැඩි දියුණු වන බව ස්නායු විද්‍යාව පෙන්වා දෙනවා. 

මනෝභාවයන් නොහොත් මනෝවිහිති දෙක

තම Mindset කෘතියෙන් මනෝභාවයන් නොහොත් මනෝවිහිති දෙකක් තිබෙන බව ඩ්වෙක් පෙන්වා දෙනවා. ඒවා වැඩීමේ නොහොත් වර් ධන මානසිකත්වය (Growth Mindset) සහ ස්ථාවර මානසිකත්වය (Fixed Mindset) ලෙස ඈ නම් කර තිබෙනවා. හැම කෙනා තුලම මෙම මානසිකත්වයන් දෙකෙන් එකක් ප්‍රමුඛ වන බව ඇය පවසනවා. 

ස්ථාවර මනෝවිහිතියක් ඇති අය විශ්වාස කරන්නේ බුද්ධිය ස්ථාවර ලක්ෂණයක් බවත්, එය ස්ථිතික (වෙනස් නොවන) බවත්ය. ඔවුන් විශ්වාසය තබන්නේ අප ඉහතින් සඳහන් කළ  ඊයේ න්‍යාය ගැනය. වැඩීමේ මනෝවිහිතියක් ඇති අය විශ්වාස කරන්නේ බුද්ධිය යනු ගතික, එනම් වෙනස් කළ හැකි සහ දියුණු කළ හැකි ගුණාංගයක් බවයි. ඔවුන් නිවැරදි බව ඩ්වෙක් පවසනවා. 

ස්ථාවර මනෝවිහිතියක් ඇති පුද්ගලයින්ට, අන් අය අභිබවා තමා බුද්ධිමත් බව පෙන්වීමට ආශාවක් තිබෙන බවත්, වැඩීමේ මානසිකත්වයේ පිහිටන පුද්ගලයින් ඉගෙනීමට ආශාකරන බවත් ඈ කියනවා. ඔවුන් තුල වන්නාවූ මෙම ආශාවන් මේ එක් එක් කණ්ඩායම සෑම දෙයකටම ප්‍රවේශ වන්නේ කෙසේද යන්න තීරණය කරනවා. 

මෙම කණ්ඩායම් දෙක අභියෝග, බාධක, උත්සාහය, විවේචනය සහ අන් අයගේ සාර්ථකත්වය දෙස බලන විවිධ ආකාරයන් නිසාමයි ඔබේ මානසිකත්වයට ඔබේ ඉරණම වෙනස් කළ හැකි බව අපි කියන්නේ.  

අභියෝගවලට මුහුණ දීම 

ස්ථාවර මනෝවිහිතියක් ඇති අය අභියෝගවලින් වැළකී සිටිනවා. ඔවුන්ගේ හැකියා පරීක්ෂාවට ලක්වන සෑම කුඩා අවස්ථාවක්ම ඔවුන් සලකන්නේ බුද්ධියේ හෝ දක්ෂතාවයේ පුද්ගලික පරීක්ෂණයක් ලෙසයි. ඔවුන් වඩාත් යොමු වන්නේ අභියෝගයක් මගහැරීමටය. පරාජය වීමට හෝ අනෙකෙකුට දෙවෙනිවීමට ඔවුන් අකමැතිය. 

වැඩීමේ මනෝවිහිතියක් ඇති අය අභියෝග වැලඳ ගනී. සෑම අභියෝගයක්ම තමන්ට තම බුද්ධිය, කුසලතා හෝ ප්‍රවීණත්වය වඩා ගැනීමට සහ දියුණුවට උපකාරී වන බව ඔවුහු දනිති. ඔවුන් තරඟ කරන්නේ තමන්ම සමගය. එබැවින් ඉගෙනීමට අවස්ථා හිමිවන ආකාරයේ යම් හෝ පරාජයන් භාරගන්නට ඒ අය නොපැකිලේ.

බාධක

ස්ථාවර මනෝවිහිතියක් ඇති අය බාධක හමුවේ තම ආයාසය ඉක්මනින්ම අත්හරිති. මෙයට හේතුව ඔවුන් ස්වභාවිකවම ස්ථාවර යැයි විශ්වාස කරන දක්ෂතා හෝ බුද්ධිය පිළිබඳ ආඩම්බරයක් ඔවුන් තුල වුවද ඒ පිළිබඳව 

තදබල විශ්වාසයක් ඔවුන් සතු නොවීමය. එබැවින් පරාජයන් සහ බාධක හමුවේ ඔවුන්ගේ ආත්ම අභිමානය සහ ආත්ම විශ්වාසය බිඳ වැටෙයි.

වැඩීමේ මානසිකත්වයක් ඇති පුද්ගලයින් පසුබෑමකට මුහුණ දෙන විට නැවත නැගී සිටී. පැරදීම හෝ අසාර් තක වීම තමන්ගේ දියුණුවට පිටිවහලක් විය හැකි බව ඔවුහු දනිති. එක් වරක් පැරදීම තාවකාලික දෙයක් බවත් එමගින් තමා සදාකාලික පරාජිතයෙකු නොවන බවත් ඔවුහු විශ්වාස කරති. 

උත්සාහය

ස්ථාවර මනෝවිහිතියක් ඇති පුද්ගලයින් උත්සාහය ගැන කරදර වන්නේ හෝ විශ්වාස කරන්නේ නැත. වද වෙන්නේ ඇයි, ඔබ කුසලතා පිරිපුන්ව උපන් කෙනෙක් නම්, ඔබේම කුසලතාව යටපත් කර ගැනීම හැර උත්සාහයෙන් වෙන පලයක් ඇතිද, යන්න ඔවුනගේ විශ්වාසයයි. 

වැඩීමේ මනෝවිහිතියකින් යුතු අය උත්සාහය සාර්ථකත්වයට යතුර බව දනී. ඔබ ඕනෑම දෙයකට වැඩි උත්සාහයක්, ශක්තියක් සහ කාලයක් යොදවන තරමටම ඔබට කුසලතා ප්‍රගුණ කිරීමට හෝ ජයග්‍රහණය කිරීමට ඇති අවස්ථා වැඩි වන බව ඔවුන් දනී. 

විවේචනයට මුහුණදීම 

ස්වභාවික දක්ෂතා විශ්වාස කරන, ස්ථාවර මනෝවිහිතියකින් යුතු අයට විවේචනයට නොගැලපේ. ඔවුන් තමන්ට ප්‍රයෝජනවත් වන්නාවූ ඍණාත්මක ප්‍රතිපෝෂණ පවා නොසලකා හැරීමට නැඹුරු වෙයි.

වැඩීමේ මනෝවිහිතියකින් යුතු අය විවේචනයට විවෘතය. ඔවුන්ගේ වැරදි වලින් ඉගෙන ගෙන ඊටත් වඩා දියුණු විය හැකි බව ඔවුන් දනී.

අන් අයගේ ජයග්‍රහණ 

ස්ථාවර මනෝවිහිතියක් ඇති පුද්ගලයින් සෑම විටම අන් අය අභිබවා කැපී පෙනීමට හෝ අනුනට වඩා හොඳ වීමට,  තමන් යම් හෝ අයුරකින් උසස් බව ඔප්පු කර පෙන්වීමට උත්සාහ කරයි. ඔවුන්ට ජයග්‍රාහකයන් වීමට අවශ්‍ය වන්නේ ඔවුන්ගේ උසස් වූ සහජ හැකියා ගැන වන විශ්වාසය නිසාය. අනෙක් අය ජයග්‍රහණය ලබන විට හෝ තමාට වඩා හොඳින් යමක් කරන විට ස්වාභාවිකවම ඔවුන් එය තර් ජනයක් ලෙස දකී. 

ස්ථාවර මනෝවිහිතියක් සහිත පුද්ගලයින්, ඔවුන් ලෝකයට ප්‍රතිචාර දක්වන ආකාරය නිසා, ඉක්මනින්ම තම හැකියාවන්ගේ ඉහලම මට්ටමට, උපරිම සීමාවලට ලඟා වේ. අනතුරුව එතනින් ඔබ්බට යෑමට නොහැකිව නවතියි. එබැවින් මෙවන් අය බොහෝ විට තමන්ගේ සැබෑ විභව හැකියා මට්ටම දක්වා ලඟා නොවේ. එයට පෙර  තම ආයාසය අත හරී. 

වැඩීමේ මනෝවිහිතියක් සහිත අය අන් අය සමඟ තරඟ නොකරයි. ඔවුන්ගේ තරඟය ඇත්තේ තමන් සමගය. ඔවුන් සෑම විටම, තමන් පෙර ලබාගත් ප්‍රතිපල මෑතක ලබාගත් ප්‍රතිපල සමඟ සංසන්දනය කරයි. අන් අය හොඳ ප්‍රතිපල ලබාගනිමින්, තමන් අභිබවා ජයගන්නා බව දකින විට, අන් අයගේ ජයග්‍රහණවලින් පාඩම් සහ ආශ්වාදයක් ලබාගැනීමට ඔවුන්ට හැකියාවක් ඇත. එබැවින් අන් අයගේ ජයග්‍රහණ ගැන සතුටු වීමට ඔවුනට හැකිය. මේ නිසාම වැඩීමේ මනෝභාවයක් ඇති පුද්ගලයින් ජයග්‍රහණවල ඉහළ මට්ටම් කරා ළඟා වේ. ඔවුන්ගේ මානසිකත්වය ඔවුන්ගේ මෙම ඉදිරි ගමනට මුල වන අතර තමන් ජයග්‍රහණ වෙත තල්ලු කළේ තමන්ගේම උත්සාහයන් බව ඔවුහු දනිති. මෙය ඔවුන්ට නිදහස් කැමැත්ත (free will) පිළිබඳව තදබල හැඟීමක් ලබා දෙයි.

ඔබේ මනෝවිහිතිය කුමක්දැයි ඔබ තේරුම් ගත්තාද?

දැන් ඔබ ඔබේ ජීවිතය ගැන ආපසු සිතා බලන්නට යම් කාලයක් වෙන්කරන්න. ඔබ ඔබගේ දිවියේ සිදුවුණ, සිදුවන විවිධ දේවල් වලට ප්‍රතිචාර දක්වන ආකාරය ගැන සිතන විට ඔබට ඇත්තේ ස්ථාවර මනෝවිහිතියක්ද වැඩීමේ මනෝවිහිතියක්ද යන්න ඔබට පැහැදිලි වනු ඇත.

ඔබේ මනෝවිහිතිය තීරණය කිරීමට උපකාර වන පරීක්ෂණද තිබේ. එවැන්නක් ඔබට අවශ්‍යනම් diyunuwablog.com බ්ලොග් එකේ නොමිලේ දායකත්වය ලබාගන්න (subscribe). එවිට diyunuwablog.com දායකයිනට පමණක් වෙන්වුන පිටු අතර වන එවන් පරීක්ෂණයක්—මනෝවිහිතිය සොයාගැනීමේ ප්‍රශ්නාවලිය/ Mindset Quiz—වෙත ලඟා වීමට ඔබට හැකිවේ. 

අපට අපේ මනෝවිහිතිය වෙනස් කරන්න පුළුවන්!

ඔබ මේ වන විට අවබෝධකරගෙන ඇති පරිදි, වයස, අධ්‍යාපන මට්ටම සහ රැකියාව කුමක් වුවද වැඩීමේ මනෝවිහිතියක් සහිත වීම ඔබගේ විභව කුසලතා ගොඩනගා ගෙන දියුණුව කරා යාමට එය ඉතාමත් ප්‍රයෝජනවත්ය. එය ඔබ ජයග්‍රාහකයකු කරන්නට මහත් පිටිවහලක් වනු ඇත.

එලෙසම ස්ථාවර මනෝවිහිතියකින් ඔබට ඔබගේ නියම විභව කුසලතා වැඩිදියුණු කරගෙන ජය මාවතට එළඹීම දුෂ්කර කරයි. ඔබගේ සතුටට තෘප්තියට එය බාධකයකි. එයට කමක් නැත. ඔබට ඔබගේ ජීවිතය සහ දෛවය වෙනස් කරගත හැකිය. තමාටද ආරම්භයේදී ස්ථාවර මනසක් තිබූ බව පවසන කැරොල් ඩ්වෙක්ගේ ශුභාරංචිය නම් ඔබටද ඔබගේ මනෝවිහිතිය වෙනස් කළ හැකි බවයි.

ඔබ මේ ගැන හිතන්නේ කුමක්ද? ඒ ගැන අපට කියන්න. 

ඔබ ඔබේ මනෝවිහිතිය ප්‍රශ්න මාලාව ඇසුරින් සොයාගත්තාද?

ඔබට ඇත්තේ ස්ථාවර හෝ වැඩීමේ මානසිකත්වයක්ද? යම් වැඩීම් ලක්ෂණ සහිත ස්ථාවර මනෝවිහිතියක්ද? නැතිනම්, යම් වැඩීමේ ලක්ෂණ සහිත ස්ථාවර මනොවිහිතියක්ද? දැන් ඔබ කල යුත්තේ කුමක්ද?

මේ ගැන ඔබට ඇති ප්‍රශ්න අපෙන් අහන්න.  ඔබේ අදහස් කමෙන්ට් ලෙස එකතු කරන්න.

මෙම ලිපිය නිලුකා දිසානායක විසින් ලියු Your Mindset Can Change Your Destiny නම් ඉංග්‍රීසි ලිපියේ අනුවාදයකි.

Images: uxplanet.org & Surviving Mom Blog

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑