ආධුනික වනජීවී ඡායාරූප ශිල්පී සුරාජ්ඩීන් සෙයියඩ් – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 04

සුරාජ්ඩීන් සෙයියඩ් තමාව හඳුන්වා දෙන්නේ “මම ආධුනික වනජීවී ඡායාරූප ශිල්පියෙක්” කියායි. ඔහු ශ්‍රී ලංකාවේ සහ පකිස්ථානයේ ඒ.බී. මෞරි සමාගම් අධ්‍යක්ෂවරයෙකි. එබැවින් ඔහුගේ වෘත්තීය  පසුබිම ගැන දැනසිටි මා මේ හැඳින්වීම ගැන විස්මය පළකළ විට ඔහු මෙහෙම කීවා.

“නායකයෙකු ලෙස මගේ වෘත්තීය දිවියත්, මගේ පුද්ගලික දිවියත් යන මේ දෙකෙහිම වනජීවී ඡායාරූප ශිල්පියෙක් වීම හා සමාන්තර දේ රැසක් මා දකිනවා.”

මා වනජීවී ඡායාරූප ශිල්පියෙහි යෙදෙන විට අගය කරන මෙන්ම පිළිපදින මුලධර්ම හතරක් භාවිතයෙන් මම මෙය පැහැදිලි කරන්නම්. අන් අයටත් මේ හා සමාන අත්දැකීම් ඇති.

පළමුවැන්න, තමා කරන දේ සඳහා තදබල ඇල්මක්, ආශාවක් (passion) තිබීම.

එමගින් ඔබට අවධානයෙන් යුතුව සිටීමටත්, උත්සාහය අත නොහැර දිගටම එහි නියැලීමටත් හැකි වෙනවා. ඔබට අවශ්‍ය වන්නේ වඩාත් හොඳ ඡායාරූපයක් ගැනීමට නම් ඒ සඳහා හොඳ කාලයක් ගතකිරීමටත් ආයාසයක් දැරීමටත් ඔබට සිදු වෙනවා.

උදාහරණයක් ලෙස, ඡායාරූප ගන්නා තැනට ඉර උදාවට පෙර ලඟා විය යුතුයි. එයින් අදහස් වෙන්නේ හැමදාම, හැම පාරම ගෙදරින් උදේ 4 වනවිට පිටත් වීමයි.

දෙවැනි මුලධර්මය, සැලසුම් කිරීම.

ඡායාරූපකරණයේ යෙදෙනවිට අපට පාලනය කළ නොහැකි සාධක බොහෝ තිබෙනවා; ව්‍යාපාර කරනවිට වගේමයි. මේ සාධක තවත් තදබලයි ඔබ ඡායාරූප ගන්නේ වනසතුන්ගේ නම්. හොඳ ඡායාරූප ගැනීම කල හැකි වෙලාව දැනීම, ඔබගේ ඉලක්ක සත්වයාගේ හැසිරීම් රටාව හොඳින් හැඳිනීම වගේම ඡායාරූපය ගැනීමට ඔබ සිටිය යුතු ස්ථානයට කලින්ම ගොස් සුදානමින් සිටීම ඔබගේ සාර්ථක බවට තීරණාත්මක සාධක වෙනවා.

එලෙසම, ඔබට නිවැරදි උපකරණ සහ මෙවලම් අවශ්‍යයි. නිරන්තරයෙන්ම නව කුසලතා ගොඩනගාගැනීමට උනන්දුවත් හොඳ ඡායාරූප ශිල්පියෙකු වීම සඳහා වැදගත්.

තෙවැන්න ඉවසීමයි.

ඔබ නිසි තැනට පිවිස ඡායාරූප ගැන්මට සුදානම් වී අදාළ සත්වයා එනකල් ඉවසීමෙන් සිටීමට හැකියාව ඔබ සතු විය යුතුයි. සාමාන්‍ය ජීවිතේදී වගේම ඔබ කෙතරම් සැලසුම් කළත් සිදුවෙන බොහෝ දේ ඔබට පාලනය කිරීමට නොහැකි ඒවායි. විශේෂයෙන්ම වන සතුන් හැසිරෙන ආකාරය ගැන ඔබට කිසිම පාලනයක් නැහැ. සමහර විට අපට දින ගණන්බලා සිටින්නට වෙනවා, එකම තැනට නැවත නැවතත් යාමට සිදු වෙනවා එකම එක ඡායාරූපයක් ගැනීම සඳහා.

හතරවැනි කරුණ සුබවාදී වීම.

ඔබ නැවත නැවතත් අසාර්ථක වේවි. පරිසරයේ විවිධ සාධක වෙනස් වේවි. ඔබේ සියලුම සැලසුම් කඩාබිඳ දමමින් ඔබට අවශ්‍ය ඡායාරූපය ගැනීමට නොහැකි වේවි.
ඉහත මා සඳහන් කළ සාධක තුන ඔබ අත්දැක ඇතිනම් ඔබට හැකි වේවි මෙහෙම වූ විට සුබවාදීව සිටිමින්, “මේක මම ඊළඟ අවස්ථාවේදී කොහොමහරි කරනවා” කියා සිතාගන්නට.

මේ මුලධර්ම හතර හැමදේටම අදාලයි. ඔබේ පුද්ගලික ජීවිතේදී වගේම වෘත්තීය දිවියේදීත් ඔබට ඒවා යොදාගන්න පුළුවන්. මම නම් ඒවා යොදාගන්නවා!

COVID -19 නිසා ඔබ ජීවිතය දෙස බලන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

ඔවු, ඉතාම ගැඹුරු, පුද්ගලික මට්ටමකින් එසේ වුණා.

අප ජීවත් වන මේ අන්තර්සබඳතා සපිරි ලෝකයේ COVID -19 වැනි රෝගයක් මැඩපවත්වා ගැනීම අතිශයින්ම දුෂ්කර කාර්යයක් බව අවබෝධ කරගැනීම බොහෝ නායකයින් හට අතිශය ප්‍රබල මට්ටමින් බලපෑවා.

නායකයින් තේරුම් ගනිමින් සිටිනවා, කොපමණ ප්‍රබල ආපදා කළමනාකරණ සැලසුම් අප සතු වුනත් සමහර අතින් මෙවැනි අභියෝගයක් හමුවේ අපි හැමෝම බොහෝ අසරණ වියහැකි බව. මෙය සත්‍යයෙන්ම මා හට අවබෝධ වූ යථාර්තයක්.

එනමුත් අප සුබවාදීව, මේ උවදුරෙන් ඉගෙනගනිමින්, එය පැතිරීම ගැන අප සතුව ඇති විශාල දත්ත සම්භාරයෙන් ඉගෙනගනිමින්, අනාගතයේ අපට මුහුණපෑමට සිදුවිය හැකි මෙවන් ආපදා සඳහා සාර්ථකව මුහුණදීමට අවශ්‍ය උපායධර්ම ගොඩනගා ගැනීම කළ යුතුයි.

COVID -19 නිසා ඔබ රැකියාව කරන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

අප ලෝකය දෙස බලන විදිය වගේම අපගේ රැකියා පරිසරයත් එමගින් වෙනස් වී තිබෙනවා. මා තේරුම් ගත් විදියට මේ අනපේක්ෂිත උවදුර හරි හැටි මැඩපවත්වාගෙන පාලනය කරගන්නට තිබුන චීනයේ නායකයින් වුහාන් මධ්‍යම රෝහලේ තරුණ අක්ෂි වෛද්‍යවරයෙක් වූ ලී වේන්ලියන්ග් එය ඔවුනගේ අවධානයට ගෙන ආ විට ඔහුට සවන් දුන්නා නම්. දේශපාලන නායකයින් ඔහුට සවන් දුන්නා නම් මේ ගුප්තජනක ශ්වසන රෝගය වුහාන් නගරය තුලම පාලනය කරගැනීමට ඔවුනට හැකි වීමට තිබුන.

නායකයන් ලෙස අප මතක ට තබා ගත යුතුයි අප එදිනෙදා ගන්න තීරණ සහ තෝරා ගන්න විකල්ප අපගේ ව්‍යාපාරවලට පමණක් නොව අන් අයගේ ජීවිත වලටත් බලපෑම් කරන බව. එනිසා අප අපගේ සේවකයන්ට සළකන අයුරුත් මෙමගින් වෙනස් වී තිබෙනවා. මේ අතරින් ප්‍රමුඛතා ලෙස හඳුන්වන්න පුළුවන් අන් අයගේ සුබසිද්ධිය සහ ඔවුන් මුහුණදෙන දේ ගැන තේරුම් ගැනීම, සහකම්පනය (empathy) ගොඩනගා ගැනීම.

COVID -19 නිසා ඔබ සමග හෝ ඔබ යටතේ රැකියාව කරන අය රැකියාව කරන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

මා සිතන්නේ අප කළ ලොකුම වෙනස තමයි, අපේ සේවකයින් එක්රැස්වී කාර්යාල තුළ සේවයට යෙදවීම වෙනුවට ඔවුන්ව විශ්වාස කර, ස්වාධීනව නිවෙස් වල සිටම වැඩ කරන්නට අවස්ථා හිමි කර දීම.

මේ තත්ත්ව යටතේදී කළමනානරුවන්ට සිදු වුණා තමන් තදින් අල්ලාගෙන සිටි දේ තරමකට ලිහිල් කරන්න. සේවකයින්ට සිදුවුණා වෙනදට වඩා වගකීමක් දරා තමන්ගේ රාජකාරි මනා සේ ඉටු කරන්නට.

ඒ අයට ගෙදර සිට සේවය කිරීමට මග පාදන්නට ඔබ විසින් කුමන ආකාරයේ වෙනස් කම් කළේද?

අප දෙයාකාරයක වෙනස්කම් සිදුකරා.

පළමුවැන්න තමයි හැම රැකියාවක් දෙසම විචාරාත්මක ලෙස බලා පිට තැනක සිට ක්‍රියාත්මක කළහැකි දේ නොහැකි දේ හඳුනාගැනීම. මෙහි ප්‍රතිපලයක් ලෙස සමහර රැකියා වගකීම්වල සංකලනයක් කරන්නට සිදු වුණා.

දෙවැන්න තමයි, අපට සිදුවුණා සානුකම්පිත, මානවවාදී අයුරකින් සළකා බලා අනතුරට භාජනය වියහැකි අපගේ සේවකයින් ආරක්ෂා කරන්නට. උදාහරණයක් ලෙස, අපි තීරණ ගැන්මේදී තරුණ මවුවරුන් සහ වියපත් දෙමාපියන් බලාගන්න සේවකයින්ගේ අවශ්‍යතා සළකා බැලුවා.

උපායධර්මානුකුලව වැදගත් රැකියා වගකීම් ඉටුකිරීම සඳහා එම වගකීම් දැරීමට හැකි කළමනාකරුවන් දෙදෙනෙක් ආයතනයේ සැම විටම සිටින අයුරින් රැකියා වැඩ වාර සටහන් සකස් කළා. එමගින් හැමෝටම වැඩට එන දින සහ ගෙදරින් වැඩ කරන දින සාධාරණව බෙදාගන්නට අවස්ථාව ලැබුණා.

පේපර්ලස් (paperless) ක්‍රියාවලි සාදාගන්නට සහ හැමටම සම්බන්ධවීමට හැකි සේ අන්තර්ජාල සහ අනෙක් මෙවලම් ලබාදීමටත් සිදුවුණා. අපි දැන් වීඩියෝ මගින් සාකච්ඡා බොහෝ සේ යොදාගන්නවා.

බොහෝ දෙනෙකුට පෙර නොතිබුණු විවේක කාලයක් දැන් ලැබී තිබේ. ඔබ මේ අතිරේක කාලය යොදවන්නේ කුමක් සඳහාද?

මා සිතන්නේ නැහැ බොහෝ දෙනාට එතරම් වැඩි කාලයක් තිබේය කියා. රැකියාවට යන්නට ගත වන කාලය නම් ඉතිරි වෙන්න ඇති. අපේ ආයතනයේ අපි ඇනවුම් ගැනීම සහ ණය අවසර ලබාදීමේ ක්‍රියාවලි දුරස්ථව කරන්නට සලසාගත්තා. මා සිතන විදියට බොහෝ දෙනෙක්ගේ රැකියා වගකීම් වල අඩුවක් වෙන්න නැහැ.

එසේ නමුත් අපට සිදුවුණා තමන්ගේ නව රැකියා වගකීම් සඳහා සේවක පුහුණුව වෙනුවෙන් කාලය ආයෝජනය කරන්නට. බොහෝ අවස්ථාවලදී අප මේ කාර්යය ඉටු කරගත්තේ සේවකයින් හට ඔන්ලයින් පදනමකින් පුහුණුව ලබාදීමෙන්.

අනාගතයේ රැකියා වෙළඳපොළට එක්වන්නන්ට දෙන අවවාද මොනවාද?

අනාගතයේ රැකියා සොයන්නන් තේරුම් ගත යුතුයි ඔවුන්ගේ රැකියා මං ඔවුනගේ දෙමාපියන්ගේ රැකියා මං වලට වඩා බොහෝ වෙනස් වියහැකි බව. එසේ වන්නේ රැකියා වල වැඩකටයුතු ඉටු කර ගැනීම සඳහා යන්ත්‍ර භාවිතය (automation), මැෂින් ලර්නින්ග් (machine learning), සහ කෘතීම බුද්ධිය (artificial intelligence) යනාදී තාක්ෂණ බහුලව අනාගතයේ යොදාගැනීමට ඉඩ තිබෙන නිසා.

මෙවැනි පරිසරයක වඩාත් වැඩි ඉල්ලීමක් ඇතිවන්නේ අනුන්ගේ හැගීම් අවබෝධ කරගෙන ඒ අනුගතව හැසිරීමට (empathy – EQ) සහ ඉගෙනීමේ හැකියා (LQ – Learnability Quotient) ප්‍රගුණ කළ අයටයි.

මේ මෘදු කුසලතා වලට අමතරව ආත්මවිශ්වාසය, අන් අයට කරුණු එත්තුගැන්වීමේ හැකියාව, නිර්මාණශීලී සිතීම සහ දත්ත විශ්ලේෂණය වැනි කුසලතා සතු යට හොඳ ඉල්ලුමක් තිබේවි. දැන්ම ඔබ මේ කුසලතා ගොඩනගා ගන්නට උනන්දු වන්න.

ඔබේ අතීතය දෙස හැරී බලන්න. ඔබට 18 හෝ 25 කාලයේ ඔබ (අධ්‍යාපනය හෝ රැකියාව සඳහා) කළ නොකළ කුමන දේ ගැන ඔබ අද පසුතැවිලි වන්නේද?

ආපසු බැලුවාම සිතෙනවා කලින් කළ දේට වඩා විශාල වෙනසක් කරන්න තිබුනේ නැතැයි කියා. නමුත්, මගේ රැකියා දිවිය එවකට වඩාත් සාරවත් කරගන්නට කරගන්නට කල හැකිව තිබු දේ නම් කිහිපයක්ම තිබෙනවා.

රැකියා දිවියේ ආරම්භක කාලයේම මෘදු කුසලතා (soft skills) ගොඩනගා ගන්න හැකි වුනානම් හොඳයි කියා හිතෙනවා.

කීප වර්ගයක කුසලතා ගොඩනගා ගැනීමත් (being multi-skilled) ඔබට අගයක් එක් කරනවා.

ඒ වගේම ඉතාමත් වැදගත් රැකියාවත් පුද්ගලික දිවියත් අතර මනා සමබරතාවයක් (work-life balance) ගොඩනගා ගැනීම. අඩු ගණනේ විනෝදාංශ දෙකක් ඇතිකරගන්න. නැතිනම් ඔබ ප්‍රියකරන දේ සම්බන්ධ ව්‍යපෘති සොයාගන එහි ඔබේ කාලය ආයෝජනය කරන්න. එමගින් ඔබට හැකි වේවි නිර්මානශීලිත්වය, නායකත්වය සහ ප්‍රත්‍යස්ථ බව නොහොත් ඉක්මනින් වෙනස්වීමේ හැකියාව (agility) වැනි කුසලතා වැඩිදියුණු කරගන්නට.

රැකියා අපේක්ෂකයන්ට සාර්ථක වීම සඳහා ඔබ දෙන අවවාද මොනවාද?

මගේ අත්දැකීම නම් තාක්ෂණික අත්දැකීම් සපුරාගෙන තිබුණත් බොහෝ තරුණ රැකියා සොයන්නන් ආයතනික ලෝකයට එක්වීමට සුදානම් නොවන බවයි.

බොහෝ වෙලාවට හොඳ උපාදියක් තිබේනම් ඔබට රැකියාවක් ලැබේවි. නමුත් කුතුහලය, ඉගෙනීමට ඇති ආශාව, වගකීම් දැරීමට කැමැත්ත, අන්තර්පුද්ගල හෝ පුද්ගල සම්බන්ධතා, කැපවීම යනාදී යම් හෝ මෘදු කුසලතාවකින් (soft skill) ඔබ විශිෂ්ටයෙක් නොවේනම් බොහෝ විට අන් අය අභිබවා එහි කැපී පෙනීමට ඔබට නොහැකි වේවි.

පළමු රැකියාව ලද කෙනෙකුට එහි සාර්ථක වීම සඳහා ඔබේ දෙන අවවාද මොනවාද?

ඔබට රැකියා ලබාදෙන ආයතන අගය කරන එක ගුණාංගයක් වන්නේ “දෘශ්‍යතාව” නොහොත් “පෙනීසිටීම”. මම මෙය පැහැදිලි කර දෙන්නම්.

රැස්වීමක් සඳහා මුළින්ම එන්නේ ඔබද? ඔබ ඒ සඳහා කළින්ම සුදානම්ව සිටීද? ඔබ හොඳින් සිතාබලන ලද ප්‍රශ්න අසයිද?

ඔබ මෙලෙසින් පෙනී සිට, චතුරව සහ ආත්මවිශ්වාසයකින් යුතුව කටයුතු වලට දායකත්වයක් දෙන්නට ඉදිරිපත් වන්නේ නම් ඔබේ කළමනාකරුවන් ඔබව ඉක්මනින්ම (දක්ෂයෙකු ලෙස) හඳුනාගනු ඇති.

අපගේ බ්ලොග් එක බලන අයට ප්‍රයෝජනවත් වේ යයි සිතන පොත්, බ්ලොග්, වෙබ් අඩවි මොනවාද?

මම අනිවාර්යයෙන් කියවිය යුතු පොත් දෙකක් නිර්දේශ කරන්නම්.
පළමුවැන්න ජිම් මැක්කොර්මික් ලියු “The First Time Manager”.  දෙවැන්න පීටර් ඩ්රකර් ගේ “On Managing Oneself”.

මේ පොත් දෙකෙන් ඔබට පළමු මට්ටමේ කළමනාකරුවෙක්ගෙන් තම ආයතනය බලාපොරොත්තු වෙන දේ කුමක්ද යන්න ගැන හොඳ අවබෝධයක් ලබාගත හැකිවෙනවා.

Coursera.org වෙතින් අන්තර්ජාලයෙන් ඉගෙනීමට කැමති අයට නොමිලේ පාඨමාලා හදාරන්න හැකියි. එහිදී උපාධි පාඨමාලා පවා ඉතා සාධාරණ අඩු මිලකට හදාරන්න හැකියි. ඒවා ගැන සොයා බලන්න.

ඔබ දෛනිකව හෝ සති පත කියවන්නේ මොනවාද?

දෛනිකව දේශීය පුවත්පත් කියවීම පුරුද්දක් කරගන්න. විජය පුවත්පත් සමගම පල කරන The Daily FT වෙතින් දේශීය මාතෘකා ගැන පැහැදිල්ය් අවබෝධයක් ලබාගත හැකියි.

ඇඳිරිනීතිය පැනවීමට පසුව තවත් බොහෝ පුවත්පත් වල ඊ පුවත්පත් නොමිලේ කියවන්න ඔබට හැකි වෙනවා.  LMD යනු සාධාරණ මිලකට ලබාගතහැකි ව්‍යාපාරික සඟරාවක්.

මීට අමතරව තවත් බොහෝ ඔන්ලයින් මාධ්‍ය තිබෙනවා. Fortune, Harvard Business Review සහ Economist සඟරා වලින්ද නොමිලේ යම් සීමිත ලිපි ප්‍රමාණයක් කියවන්න පුළුවන්.
එලෙසම හාවර්ඩ් සහ ස්ටෑන්ෆර්ඩ් විශ්වවිද්‍යාල වෙබ් අඩෙවි වල නායකත්වය ගැන බොහෝ ප්‍රයෝජනවත් යූටියුබ් වීඩියෝ තිබෙනවා.

ඔබේ ඉලක්කය විය යුත්තේ වසරකට අඩු ගණනේ ව්‍යාපාරික පොත් 10ක් හෝ 12ක් වත් කියවීම. තමුන් සතියට පොතක් බැගින් කියවන බවට පුරසාරම් අනන අයත් ඉන්නවා. ඔබ කොතරම් කියවන්නේද කියන එක තීරණය කළ යුත්තේ ඔබමයි. කොහොම වුනත් කියවන්න කාලය සොයාගැනීම වැදගත්.

ස්වයං සංවර්ධනය සඳහා (කායික, මානසික, චිත්තවේගීය, අධ්‍යාත්මික, බුද්ධිමය, තාක්ෂණික) ඔබේ කරන්නේ මොනවාද?

මා බොහෝවිට මගේ සගයින්ගෙන් මවෙත ලැබෙන ප්‍රතිපෝෂණය (feedback) සහ මගේ ස්වයං ඇගයීමෙන් දියුණු කරගත් යුතු අංශ අවබෝධ කරගන්නවා. එලෙසම විධායක පුහුණුකරුවෙක් (executive coach) සහ උපදේශකයක් (mentor) මට සහයෝගය දෙනවා.

නිහතමානීව මේ අයගෙන් ලැබෙන යෝජනා ප්‍රතිපෝෂණ පිළිගන්නට හැකියාවක් ගොඩනගාගැනීම ඉතාමත් වැදගත්.

ස්වයං සංවර්ධනය සඳහා ඉලක්ක සාදාගැනීමේදී ඒවා ඔබට නියමිත කාල රාමුවක් තුළදී ඉෂ්ට කරගන්නට හැකි වන සේ තෝරාගන්න. ඔබගේ උපදේශකයා වෙතින් නිතිපතා මේ සඳහා සහයෝගය සහ ප්‍රතිපෝෂණ ලබාගන්නට කටයුතු සලසාගන්න.

COVID-19 සම්බන්ධ ආර්ථික හා සමාජීය කටයුතු වසා ඇඳිරිනීතිය දැමීම ගැන ඔබ හිතන්නේ මොනවාද?

COVID -19 වසන්ගතයෙහි ආර්ථික බලපෑම අපට දැනටමත් දැනෙන්න පටන් අරන්. සවිමත් පදනමක් නොමැති වූ දුර්වල ව්‍යාපාර වැසී යාවි. වසන්ගතෙන් අනතුරුව පැවැත්මට හැකි වන්නේ හොඳ මුදල් ප්‍රවාහ සහිත, සවිමත් සැපයුම් දාම සකසාගෙන තිබූ වෙළඳපොළට ළඟාවීමට කාර්යක්ෂම මගක් සාදාගත් ව්‍යාපාරයි.

සුළු ව්‍යාපාරිකයන්ට ඔබ දෙන අවවාද මොනවාද?

අන් කෙනෙකුට පහසුවෙන් අනුකරණය කළ නොහැකි ඔබටම උරුම අසමසම ව්‍යාපාරික මොඩලයක් තිබීම වැදගත්. ගණුදෙනුකරුවන් කේන්ද්‍ර කරගෙන ඔබට අති දක්ෂ ලෙසින් කළහැකි දේ මතින් ව්‍යාපාරය ගොඩනගාගන්න.

මේ කුළුණු තුන — අසමසම ව්‍යාපාරික මොඩලයක්, ගණුදෙනුකරුවන් කේන්ද්‍ර කරගැනීම සහ ඔබට අති දක්ෂ ලෙසින් කළහැකි දේ — මතින් තමයි සාර්ථක ව්‍යාපාර ගොඩනැගෙන්නේ.

මෙලෙසින් ගොඩනගාගත් ව්‍යාපාර දෙකකට උදාහරණ ලෙස සිද්ධාලේප සහ සමහන් හදන ලින්ක් නැචුරල්ස් ප්‍රඩක්ට්ස් සමාගම් හඳුන්වන්න පුළුවන්.

One thought on “ආධුනික වනජීවී ඡායාරූප ශිල්පී සුරාජ්ඩීන් සෙයියඩ් – නව කොරෝනා ඇඳිරිනීති දිනපොත 04

Add yours

  1. Thanks for being our leader and role model. I appreciate all the knowledge and skills you’ve imparted to us.

    Suren Perera

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: