මනස් සිතියම් (Mind Map) භාවිතය සහ මනස් සිතියමක් නිර්මාණය කරගැනීමට පියවර 7ක්

මනස්  සිතියමක් යනු කුමක්ද?

මනස් සිතියමක් (MInd Map) යනු “මොළයේ විභවයන් අගුළු හැරීමට විශ්වීය යතුරක් සපයන ප්‍රබල ග්‍රැෆික් තාක්‍ෂණයකි,” ටෝනි බුසාන් පවසයි. ඔහු මනස් සිතියම් ක්‍රමය ලොව ප්‍රචලිත කළ කතුවරයෙකි, පුහුණුකරුවෙකි. 

මනස් සිතියම් තුළින් අපගේ මොළයේ බාහික කුසලතා (cortical skills)—වචනය, රූපය, අංකය, තර්කය, රිද්මය, වර්ණය සහ අවකාශීය දැනුවත්භාවය යනාදිය—සම්පූර්ණ පරාසයක, අද්විතීයව බලවත් ආකාරයකින් භාවිතා කරන්නට අපට අවස්ථා හිමිකරදෙන බව ඔහුගේ අදහසයි. එසේ කිරීමෙන්, ඔබේ මොළයට අසීමිත ලෙස නිර්මාණශීලිව සැරිසැරීමට නිදහස ලබා දෙයි.

මනස් සිතියමක් ජීවිතයේ සෑම අංශයකටම යෙදිය හැකි බව බුසාන් කියයි. එමගින් වඩාත් හොඳින් ඉගෙනගැනීමට සහ  තමන්ගේ සිතීමේ ක්‍රියාවලිය, තාර්කිකව සහ පැහැදිළිව අවබෝධ කරගැනීමට හැකි වේ. එමගින් අපේ අදහස් පැහැදිලිව හා චතුරව ප්‍රකාශ කිරීමට හැකිවේ. කිවයුතු සියලු කරුණු අමතක නොකර ප්‍රකාශ කරන්නට මනස් සිතියම උපකාර වේ.

මනස් සිතියම් යොදාගත හැකි අවස්ථා 

මනස් සිතියම් යොදාගත හැකි අවස්ථා බොහෝය. මේ ඒ අතරින් සමහරකි. 

ඔබ මනස් සිතියම් වෙනත් අයුරකින් යොදා ගන්නේනම් අපටත් ඒ ගැන කියන්න. 

  • දේශනයකදී හෝ රැස්වීමකදී සටහන් තබාගැනීම සඳහා 
  • තොරතුරු සාරාංශ ගත කිරීම සඳහා
  • රචනාවක් හෝ ලිපියක් (හෝ පොතක්) ලිවීමේදී අදහස් මනා සේ පෙළගස්වා ගැනීමට 
  • කතාවක් පැවැත්වීමේදී කිවයුතු සියලු කරුණු අතනොහැර කීමට උපකාරකයක් ලෙස 
  • තර්කයක් ගොඩනැගීමේදී හැම අදාළ අංශයක්ම නොහැර සළකා බැලීමට 
  • තීරණයක හෝ ක්‍රියා මාර්ගයක හොඳ නරක සංසන්දනයේදී 
  • ව්‍යාපෘතියක් සංවිධානය සහ සැලසුම් කිරීමේදී 
  • විවිධ මූලාශ්‍රවලින් එන තොරතුරු ඒකාබද්ධ කිරීම සඳහා .
  • සංකීර්ණ ගැටළු විචාරාත්මකව අවබෝධ කරගැනීමට සහ ඒ පිලිබඳ සිතීමට.
  • තොරතුරු පැහැදිලිව ඉදිරිපත් කිරීම පහසු කරගැනීමට.
  • තොරතුරු අධ්‍යයනය කිරීමට සහ කටපාඩම් කිරීමට උපකාරකයක් ලෙස.
  • පාඩම් කිරීමේදී – සංකීර්ණ සංකල්පයක අනු කොටස් දැක්වීමට හෝ සම්පුර්ණ පාඩමක කෙටි සටහනක් ලෙස 

මේ සා විශාල ප්‍රයෝජන ලබාදෙන මනස් සිතියමක් හදාගන්න ඔබටත් සිතෙන්නේද? එසේනම් දැන් අපි මනස් සිතියමක් සාදාගන්න ආකාරය ඉගෙනගනිමු.

මනස් සිතියමක් සෑදීමට පියවර 7ක්

වඩාත් සාර්ථකව මනස් සිතියම් නිර්මාණය කරගන්නට මෙම පියවර අනුගමනය කරන්න.

  • පැත්තට හැරුණු (landscape) හිස් පිටුවක මධ්‍යයේ මනස් සිතියම ආරම්භ කරන්න.
    ඇයි? මධ්‍යයේ පටන් ගැනීමෙන් ඔබේ මොළයට සෑම දිශාවකටම පැතිරීමට සහ වඩාත් නිදහසේ සහ ස්වභාවිකව අදහස් ප්‍රකාශ කිරීමට නිදහස ලබා දෙන බැවිනි.
  • ඔබේ කේන්ද්‍රීය අදහස සඳහා රූපයක් හෝ පින්තූරයක් භාවිතා කරන්න.
    ඇයි? රූපයක් වචන දහසක් වටින අතර ඔබේ පරිකල්පනය භාවිතා කිරීමට උපකාරී වේ. කේන්ද්‍රීය රූපයක් වඩාත් සිත්ගන්නා සුළුය. එය ඔබව කේන්ද්‍රීය අදහස වෙත නිරන්තරයෙන් රැගෙන එයි. ඔබට අවධානය යොමු කිරීමට උදවු කර, , සහ ඔබේ මොළයට වැඩි ප්‍රබෝධයක් ලබාදෙයි!
  • මනස් සිතියම පුරාවට වර්ණ භාවිතා කරන්න.
    ඇයි? වර්ණ විනෝදජනකයි. එමගින් මනස් සිතියමට අමතර ප්‍රබෝධයක් සහ ජීවයක් එක් කරයි. වර්ණ මගින් ඔබේ නිර්මාණ ශක්තියට පියාපත් ලබාදී ඔබව උද්යෝගිමත් කරවයි. ඔබේ නිර්මාණාත්මක චින්තනයට ඉමහත් ශක්තියක් එක් කරයි!
  • ඔබේ ප්‍රධාන ශාඛා මධ්‍ය රූපයට සම්බන්ධ කර ඔබේ දෙවන සහ තුන්වන මට්ටමේ ශාඛා පළමු සහ දෙවන මට්ටම්වලට සම්බන්ධ කරන්න. 
    ඇයි? ඔබේ මොළය ක්‍රියා කරන්නේ සංකල්ප අතර වන අන්තර්සම්බන්ධතා ආශ්‍රයෙනි. එය දේවල් දෙකක් (හෝ තුනක්, හෝ හතරක්) එකට සම්බන්ධ කිරීමට කැමතියි. ඔබ ශාඛා සම්බන්ධ කරන්නේ නම්, ඔබට බොහෝ දේ පහසුවෙන් තේරුම් ගත හැකි අතර එම සම්බන්ධතා පහසුවෙන් මතක තබා ගත හැකිය.
  • ඔබේ අතු කෙළින් රේඛාව ලෙස නොව වක්‍රව ඇඳගන්න.
    ඇයි? සරල රේඛා හැර අන් කිසිවක් නොමැති වීම ඔබේ මොළයට නීරසය. මනස් සිතියම ආකර්ෂණීය දෙයක් විය යුතුය. 
  • එක් පේළියකට එක් ප්‍රධාන වචනයක් භාවිතා කරන්න.
    මක්නිසාද යත් තනි ප්‍රධාන වචන ඔබේ මනස් සිතියමට වැඩි බලයක් සහ නම්‍යශීලී බවක් ලබා දෙන බැවිනි.
  • මනස් සිතියම පුරාවට රූප භාවිතා කරන්න.
    මධ්‍යම රූපය මෙන් සෑම රූපයක්ම වචන දහසක් වටින බැවිනි. එබැවින් ඔබට ඔබේ මනස් සිතියමේ ඇත්තේ පින්තූර 10ක් පමණක් නම්, එය දැනටමත් වචන 10,000ක් දිග සටහනක් හා සමාන වේ!

මනස් සිතියම් සාදාගැනීම මනස් සිතියමක් ලෙස 

මනස් සිතියම් සාදාගැනීම සහ එහි ප්‍රයෝජනද මෙසේ සංක්ෂිප්තව මනස් සිතියමකින්ම ඉදිරිපත් කළ හැකිය. 

ඔබ මනස් සිතියම් භාවිතා කරන අයුරු අපටත් කියන්න. මනස් සිතියම් සකසා ගැනීමේදී ඔබ මුහුණදෙන අභියෝග සහ ගැටළු අප වෙත යොමු කරන්න. 

මූලාශ්‍රය: HTTP://WWW.TONYBUZAN.COM/ABOUT/MIND-MAPPING/
රූප: mindmaps.com, tonybuzan.com, learningfundamentals.com.au

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑