ගයේන්ද්‍ර (විකී) වික්‍රමරත්න සමග සාකච්ඡාවක්: නව කොරෝනා ඇඳිරි නීති දිනපොත 02

විකී වික්‍රමරත්න ලෙසින් මා ඔහු මුළින් හඳුනාගත්තේ ඔහු ගැන අත්වැල ව්‍යාපාරික සඟරාවේ “ඇතුවත් බැරි, නැතුවත් බැරි තාක්ෂණය” නම් තේමාවෙන් මුද්‍රණය කළ 2000 මාර්තු/අප්‍රේල් කලාපයෙන්.

“සුවිශේෂ ගණයේ නිර්මාණකරු විකී වික්‍රමරත්න” නම් වූ එම ලිපිය ලියුවේ අත්වැල සඟරාවේ ප්‍රධාන කතෘ වූ මගේ පියා, නිහාල් දිසානායක විසිනුයි. ඔහු එම ලිපියේ හැඳින්වීම ඇරඹුවේ මෙලෙසින්:

ඔහු සුවිශේෂ නිර්මාණ ශිල්පියෙකි; පේටන්ට් බලපත්‍ර හිමියෙකි; සම්මානලාභී ඡායාරූප ශිල්පියෙකි; ගුවන් නියමුවෙකි; මෝස්‌තර ශිල්පියෙකි; මෝටර් රථ හා මෝටර් සයිකල් තරඟ වලින් ඔහු ලබාගත් ජයග්‍රහණ රාශියකි; දළදා මාළිගාවේ රන් වියනට රන් සැපයුවේ ඔහුය; දියමන්ති ඔප දැමීමත්, මැණික් වෙළදාමත් ඔහුගේ ව්‍යාපාර අතර විය.”

ඔබ ගැන එක වාක්‍යයකින් කුමක් කියන්නදැයි විමසු විට විකී ඉහත හැඳින්වීම මට මතක් කර දුන්නේය. නවතම ඡායාරූපයක් එවන්නැයි කියූ විට එවූ ඡායාරූපයේ ඔහුගේ පසුගිය 20 වසරක සටහන් මට නොපෙනිණ. ඒ ගැන විමසු විට විකී මෙසේ කීය:

“බෙල්ලේ ඇඟේ හම ටිකක් රැළි වැටිලා. නමුත් මනසේ, මොළයේ සහ හදවතේ නම් එහෙම නැහැ.”

ඔබට ඔහු ගැන වැඩිදුර දැනගන්න ඔහුගේ LinkedIn පිටුවට පිවිසෙන්න.

COVID -19 නිසා ඔබ රැකියාව කරන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

එතරම් වෙනසක් නැහැ. මා කොහොමටත් මගේ බොස්ට කියල තිබුනේ ගෙදර ඉඳන් වැඩ කිරීම පහසුයි, පලදායියි කියල. මම කොහොමටත් එහෙම කරමින් හිටියේ. දැන් ඒක හොඳින් ගැළපෙන තැනකට ආවා. ගෙදරින් වැඩ කිරීමට ප්‍රිය කරන්නේ එමගින් පාරේ ඉඳන් නාස්තිවන කාලය ඉතිරි කරගත හැකි නිසා. කාලය මට බොහෝ වටින දෙයක්.

COVID -19 නිසා ඔබ සමග හෝ ඔබ යටතේ රැකියාව කරන අය රැකියාව කරන ආකාරය වෙනස් වුණිද ? ඒ කෙසේද?

එතරම් නැහැ. ශ්‍රී ලංකාවේ අයත් එක්ක තර්ක කර යමක් තේරුම් කර දීම අපහසුයි. හැමදේම ඉක්මනින් අමතක වෙනවා.

ගෙදරින් වැඩ කරන කාලයක් ආණ්ඩුව විසින් ප්‍රකාශ කළාම හැමෝම බොහොම සතුටු වුණා. ඒ සේවකයින් බොහෝ දෙනෙක් වැඩ අතගාමින් ඔහේ ඉන්න කැමති නිසා. මට හිතෙන්නේ මේ ගෙදරින් වැඩ කිරීම තේරුමක් නැති දෙයක් වේවි කියල මක්නිසාද මට නම් හිතාගන්නවත් බැහැ වැඩි දෙනෙක් මේ දේ කරගන්නේ කොහොමද කියලා.

බොහෝ දෙනෙකුට පෙර නොතිබුණු විවේක කාලයක් දැන් ලැබී තිබේ. ඔබ මේ අතිරේක කාලය යොදවන්නේ කුමක් සඳහාද?

මා ගැන කිව්වොත්, මා මගේ කාලය කළමනාකරණය කරගන්නවා. එනිසා මට “අතිරේක” කාලය කියා දෙයක් නැහැ. මම සාමාන්‍යයෙන් දවස පුරාම වැඩකරන්නේ ඔන්ලයින්, නැතිනම් මගේ මොබයිල් එකෙන්.

වර්තමානයේ ඔබේ වයස 18 විනි නම් ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

මම මගේ දැනුම දියුණු කරගන්නවා කියවීමෙන් සහ ප්‍රවෘත්ති නැරඹීමෙන්. ඉඳ හිටලා හිතට විවේකයක් ගන්න සහ වෙහෙස නිවාගන්න රුපවාහිනී වැඩසටහනක් නරඹනවා.

වර්තමානයේ ඔබේ වයස 25 විනි නම් සහ ඔබට රැකියාවක් තිබේ නම් මේ කාලයේ ඔබ ගෙදර ඉඳන් කරන්නේ මොනවාද?

මම උපරිම උත්සාහයක් දරනවා මට ඉතිරිව තිබු රැකියාවේ වගකීම් හැකි පමණින් සම්පුර්ණ කිරීමට. මා හැම විටම මා සමග වැඩකරන සෙසු අයවද මෙසේ කරන්නට උනන්දු කරනවා.

ගෙදර ඉඳන් දින ගෙවී යන විට අන් අයට මේ මාරාන්තික වෛරසයෙන් බේරී, ප්‍රවේසමෙන් ඉන්නත් අන් අය හා සම්බන්ධතා සමාජ මාධ්‍ය තුලින් සහ අන්තර්ජාලයෙන් කරන්නටත් දැනුවත් කරනවා.

ඔබේ අතීතය දෙස හැරී බලන්න. ඔබට 18 හෝ 25 කාලයේ ඔබ (අධ්‍යාපනය හෝ රැකියාව සඳහා) කළ නොකළ කුමන දේ ගැන ඔබ අද පසුතැවිලි වන්නේද?

මා දේශීයව සහ අන්තර්ජාතිකව බොහෝ මාර්ග වලින් බොහෝ අපේක්ෂා සාක්ෂාත් කරගත් කෙනෙක් නිසා කිසිවක් පසුතැවීම් නැහැ.

මං ජපානේ විශ්වවිද්‍යාල අධ්‍යාපනය අතහැර ගිය කෙනෙක් වුණත් එමගින් මා අධෛර්ය්‍මත වුණෙත් නැහැ, ප්‍රතික්ෂේප වුණෙත් නැහැ. “වැඩ” කරන්න ම තුළ වූ ආශාව නිසා මා අත ගැසූ සැම දෙයින්ම සාර්ථක වෙන්නට මට හැකි වුණා. ඒ මා තුළ වූ තදබල කැපවීමේ ශක්තියෙන්.

රැකියා අපේක්ෂකයන්ට සාර්ථක වීම සඳහා ඔබ දෙන අවවාද මොනවාද?

මෙතැනදී කියන්න කැමතියි මවිසින්ම සාදාගත් සංකල්පයක් ගැන. මේ ගැන මා ඩේලි නිවුස් පුවත්පතේ ද ලියුවා. එනම් විකී වික්‍රමරත්නගේ 3D සංකල්පය.

විකී වික්‍රමරත්නගේ 3D සංකල්පය

3D සැදෙන්නේ Dedication, Diligence, Dogma නම් වදන් තුනෙන්.

I. පළමුවැන්න Dedication, කැපවීම

සාර්ථකත්වයට වඩාත් වැදගත් වන සාධකය කැපවීමයි. කිසි විටක නෑ බෑ කියන්න එපා. ඔබ යමක් කරන්නට කැපවී වැඩ කරනවානම් ඔබට ඔබ දකින සිහින සැබෑ කරගන්නට හැකියි.

II. Diligence යනු උද්‍යෝගය, උත්සාහවන්ත වීම, කඩිසරකම

Diligence යන්න උද්‍යෝගය, උත්සාහවන්ත වීම, කඩිසරකම ලෙසින් හඳුන්වන්න පුළුවන්. එමගින් අදහස් වෙන්නේ පසුනොබසින උත්සහයකින් යුතුව යමක් කිරීමයි.

ජපානයේ සේවකයින්ට සාපේක්ෂව මේ ගතිගුණය ලංකාවේ සේවකයින් අහලවත් නැති දෙයක්. ඔබ මේ ගුණය දරයි නම්, ඔබ ඔබේ රැකියාවේ කටයුතු පලදායීව තමන්ගේ ආයතනය කරදරයකට නොවැටෙන සේ මනාව ඉටු කරනවා. එවිට ඔබේ රැකියා ආයතනය, සාර්ථක වෙනවා. ඔබේ පඩිය ගෙවීමට හැකි වෙනවා.

මෙතැනදී කියන්න වෙනවා මා මේ සඳහා හොඳ උදහරණයක් කියලා. ආයතනයේ කටයුතු ප්‍රවර්ධනයේදී (business promotion) ඒ කටයුතු සඳහා ආයතනයෙන් වැඩිම මුදලක් උපයන්නේ මමයි. මේ කටයුත්තේදී මගේ බොස්වත් අභිභවා යන්නට මට හැකිව තිබෙනවා.

නියමිත වෙලාවට වැඩට ඒම, වැඩ කරන මුළු වෙලාවේදීම කාලය අපතේ නොයවා, තැන තැන නොගැවසී පලදායීව වැඩ කිරීම මෙයට අයත් වෙනවා.

රැකියා ස්ථානය ඔබගේ නිවස නොවන බව මතක තියාගන්න. එය වැඩ කරන ගමන් සෙසු සේවකයින් හා කතාබහේ යෙදෙමින් ඉන්න සුදුසු තැනක් නොවේ.

ගණුදෙනුකරුවන්ට ඔබේ අවධානය ලබාදෙන්න. ගණුදෙනුකරුවා රජෙක් යයි සිතා ඔහුට නිතරම මුල් තැන දෙන්න. ගණුදෙනුකරුවන් නැතිව ඔබේ ආයතනයට නොනැසී පැවතීමක් නැහැ.

රාජ්‍ය සේවකයින්ට පණිවුඩයක්. රාජ්‍ය සේවකයින් මතක තබා ගත යුතුයි ඔබේ පඩි ගෙවන්නේ රජය විසින් නොව රටේ බදු ගෙවන ජනතාව බව. බොහෝ දෙනා මෙය නිවැරදිව වටහාගෙන නැහැ. ඔබ නිසි සේ වැඩ නොකළොත්, රජයට ඔවුන් ලබාගත යුතු එකතු කරගත යුතු ආදායම් නොලැබී යනවා. නමුත් රජය ඔබේ පඩිය කොහොම හෝ ගෙවිය යුතුයි. එවිට රජයට සිදු වෙනවා මේ සඳහා ණය ලබාගන්න. එමගින් රටේ ණයබර තවත් වැඩි වෙනවා. මේ විදියට ගියොත් රට අන්තිමේදී බංකොලොත් වෙන තත්වයක් ඒවි.

III. Dogma කියන්නේ චිරන්තන දෘෂ්ටියයි. විරුද්ධවාදයක් නොඉවසන බවක්ද මෙයින් අදහස් වෙනවා.

බොහෝ විට මේ වදන යොදාගන්නේ ආගමික ඇදහීම් පිළිබඳව. ඔබේ ශාස්තෘවරයා කවුරු වුණත් ඔහු ඉගැන්වූ දේ අවිචාරමත්ව පිළිගෙන එයට අනුගතවීම මෙයින් අදහස් වෙනවා.

මා මෙහිදී අදහස් කරන්නේ මෙය සුබවාදී ලෙසින් යොදාගැනීමයි. මෙහිදී ඔබ ඔබගේ දියුණුව තකා යම් නීති රීති පද්ධතියක් සාදාගෙන එයින් පිටට නොපැන එයටම අනුගත වීම අදහස් වෙනවා. කවුරු මොනවා කීවත් ඔබට හොඳ මගින් පිට නොපැනීමයි මා අදහස් කළේ.

උදාහරණයක් ලෙස දිනපතා කාල කළමනාකරණයට නීති හදාගන්න පුළුවන්. එවිට කවුරු මොනවා කිව්වත්, ඔබ කළ යුතු දේ කරලා තමයි ඔබ අනෙක් දේ වෙත යොමු වන්නේ.

පළමු රැකියාව ලද කෙනෙකුට එහි සාර්ථක වීම සඳහා ඔබේ දෙන අවවාද මොනවාද?

  • තමන් ගැන පමණක් හිතන්න එපා. කඩිසරව ඔබගේ ආයතනයේ දියුණුව පතා වැඩ කරන්න. මම දන්නවා, සමහර බොස්ලා සේවකයින්ට එතරම් හොඳින් සළකන්නේ නැහැ. නමුත් මතක තබා ගන්න ඔබ ඔබේ ජීවිතය මෙතනින් ආරම්භ කර ඉදිරියට යනවා.
  • මේ ගමනේදී හැකිතරම් දුරට සුළුපටු දේ ගැන නොසිතා, අනාගතය අඳුරු වෙන දේවල් නොකරන්න.
  • ඔබගේ සෙසු සේවකයින් ගේ කේලම්, කතා වලට සවන් දෙන්න එපා. සවන්දී එක කණකින් ගෙන අනිකෙන් පිටතලන්න.
  • ඔබ නව සේවකයෙකු සේ කැපී පෙනෙන්නට ගත විට ඔබව වට්ටන්න හදන අයත් ඉඳීවි. ඉරිසියාව නිසා ඔබ ගැන ගෙතු කතා ඔබගේ බොස්ටත් කියාවි. බොහෝ විට ඔබේ බොස් මේ ගැන ඔබට දොස් නගාවි. එවිට කෙලින් හිටගෙන, බයාඳු නොවී බොස්ට ඔබ නිවැරදි බව පෙන්වා දෙන්න.
  • අන් අයට ආචාරශීලීව සළකන්න. මෙය ගණුදෙනුකරුවන් අභියසදී ඉතාමත් වැදගත්. මා කලින් කියුව දේ, එනම් ගණුදෙනුකරුවා රජෙකු බව මතක තබාගන්න.
  • අලසකමින්, අද කළ යුතු දේ හෙටට කල් දමන්න එපා. එමගින් වන්නේ වැඩ ගොඩගැසීමයි. දිනපතාම, හැකි පමණින් ඔබේ කටයුතු සම්පුර්ණ කරන්නට උත්සහ ගන්න. මෙයින් ඔබේ බොස් බොහෝසේ සතුටු වේවි.
  • වැඩ කරන අතරතුරේ විටින් විට කෙටි විරාමයක් ගන්නට මතක තියාගන්න. අධික වැඩ කිරීමෙන් ඔබගේ ආතතිය වැඩෙන අතර එමගින් ඔබගේ පලදායීතාවය පහළ යනවා.

ඔබ දෛනිකව හෝ සති පතා කියවන්නේ මොනවාද?

මා හැමදේම කියවන්නේ ඔන්ලයින්. හැමදාම මම ප්‍රවෘත්ති අඩෙවි සහ දේශීය ප්‍රවෘත්ති බලනවා. CNN, Al Jazeera වැනි දේ බලනවා. මවිසින් දායකත්වය ලබාගෙන ඇති ඉංජිනේරු, වෛද්‍ය, නීති වෙබ් අඩෙවි බලනවා. මිනිස් වර්ගයාට ප්‍රයෝජනවත් අන් අය සමග බෙදාහදා ගතහැකි දේ බලා බෙදාගන්නවා. කොහොම වුනත් උදෑසන 7.30 සිට රාත්‍රී 10.30 දක්වා මෙසේ කරනවා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s

Blog at WordPress.com.

Up ↑

%d bloggers like this: