මතකය සහ අමතකය – වඩාත් හොඳින් ඉගෙන ගැනීමට උපදෙස් 10ක්

මට මතක නැහැ. ඉගෙන ගන්න දේ ඉක්මනින් අමතක වෙනවා. කොහොමද ඉගෙනගන්න දේ හොඳින් මතක තියාගන්නේ? මේ නිරතුරුව සිසුන් අසන ප්‍රශ්ණ කිහිපයකි.

මතකය දියුණු කරගන්නට අවශ්‍ය නම් මුළින්ම මතක තබාගැනීමේ ක්‍රියාවලිය අවබෝධ කරගත යුතුයි.

මතකය ක්‍රියා කරන්නේ කෙසේද?

මතකය යනු මොළයේ තොරතුරු සංකේතනය කර ගබඩා කර නැවත ලබා ගන්නා සංජානන ක්‍රියාවලියයි. එය අදියර කිහිපයකින් සමන්විත වේ: කේතනය කිරීම, ඒකාබද්ධ කිරීම, ගබඩා කිරීම සහ නැවත ලබා ගැනීමය (retrieval).

මතකය ක්‍රියා කරන ආකාරය මෙන්න:

කේතනය (Encoding)

කේතනය යනු සංවේදී තොරතුරු මතකයේ ගබඩා කළ හැකි ආකෘතියක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියයි. එයට තොරතුරු වෙත අවධානය යොමු කිරීම (paying attention) සහ සැකසීම (processing) ඇතුළත් වේ.

ඒකාබද්ධ කිරීම (Consolidation)

ඒකාබද්ධ කිරීම යනු කාලයත් සමඟ මතකයන් ශක්තිමත් කිරීම සහ ස්ථාවර කිරීමේ ක්‍රියාවලියයි. එයට කෙටි කාලීන මතකයේ (short-term memory) සිට දිගු කාලීන මතකයට (long-term memory) තොරතුරු මාරු කිරීම ඇතුළත් වේ.

ගබඩා කිරීම (Storage)

කාලයත් සමඟ සංකේතාත්මක තොරතුරු රඳවා තබා ගැනීම ගබඩා කිරීම ලෙස හැඳින්විය හැකිය. අදාළ තොරතුරු වර්ගය අනුව මොළයේ විවිධ ප්‍රදේශවල මතකයන් ගබඩා කෙරෙනු ඇත.

නැවත ලබා ගැනීම (Retrieval)

අවශ්‍ය විට ගබඩා කර ඇති තොරතුරු වෙත ප්‍රවේශ වීම සහ මතකයට ගෙන ඒමේ නැතහොත් මතකයට නගාගැනීමේ ක්‍රියාවලිය මෙයින් අදහස් කෙරේ. යම් දෙයක් ගැන සාර්ථකව මතකයට නගාගැනීම සඳහා එම තොරතුරට අදාළ වූ අවස්ථා සම්බන්ධය, ඉඟි (cues) සහ ඒ හා ආශ්‍රිත වෙනත් තොරතුරු මතකය නැවත කැඳවීමට උදවු කරයි.

ඔබගේ මේස් යුගලක් වෙනත් මේස්ද සහිත ලාච්චුවකට දමන්නේ යැයි සිතන්න. පිළිවෙලකට, ක්‍රමානුකුලව දැම්මොත් එම මේස් අවශ්‍ය විට පහසුවෙන්ම නැවත සොයාගත හැකිවේ. එම මේස් යුගලද ලාච්චුවේ ඇති අනෙක් මේස් සියල්ලද කිසිම පිළිවෙලකින් තොරව ඔහේ ලාච්චුවේ දැම්මොත් ඒවා අවශ්‍ය වූ විට එතරම් පහසුවෙන් හෝ ඉක්මනින් සොයාගැනීම දුෂ්කර වනු ඇත.

මතකයන්ද එසේය. ක්‍රමානුකුලව, මනා ක්‍රම සහ විදි භාවිතයෙන් මතකයට එක් කළ විට නැවත මතකයට නගාගැනීම පහසු වේ. කිසිම උවමනාවක් නැතිව ඔහේ මතකයට එක්වන දේ එසේ නොමැත. නැවත මතක් කරගැනීම අපහසුවේ.

ඔබ දැන් යමක් මතක තබාගැනීමේ ක්‍රියාවලිය ගැන දනී. දැන් මතකය වැඩි දියුණු කරන්නේ කෙසේදැයි සොයාබලමු.

මතකය වැඩි දියුණු කිරීම සඳහා උපදෙස් දහයක්

සාර්ථක ඉගෙනගන්නෙකු වීමට නම් මතකය වැඩි දියුණු කිරීම සඳහා උපදෙස් දහයක් මෙන්න:

1. ඉගෙනගන්න දේ වෙත පුර්ණ අවධානය යොදවන්න.

එම දේ ගැන සතිමත් වන්න. උදාහරණ ලෙස පාඩම් කරද්දී සින්දු අහන්න එපා. ගුරුවරයා උගන්වන විට අවට නොබලා, සිහින නොමවා, මිතුරන් හා කතා නොකර සාවධානව සිටින්න. ඔබට මතක තබා ගැනීමට අවශ්‍ය තොරතුරු කෙරෙහි අවධානය යොමු කරන්න. අවධානය වෙනතකට යොමු කිරීම අවම කර ඉගෙනගන්න දේ සමඟ ක්‍රියායාකාරීව සම්බන්ධ වන්න (active engagement).

2. මතක තබාගැනීමේ ක්‍රම සහ උපාංග (mnemonics) භාවිතා කරන්න.

මතකයන් යනු තොරතුරු මතක තබා ගැනීමට උපකාර වන මතක ආධාරක වේ. ඒවා කෙටි යෙදුම් (acronyms), තාලයකට දැමු තොරතුරු (rhymes), දෘශ්‍ය රූප හෝ වෙනත් ක්‍රම විය හැකිය.

කෙටි යෙදුම් (acronyms)

VIBGYOR යනු දේදුන්නේ පාට ඉංග්‍රීසියෙන් මතක තබාගන්නට භාවිතා කරන කෙටි යෙදුමකි එය සෑදී ඇත්තේ violet, indigo, blue, green, yellow, orange, red යන වදන්වල මුලකුරු භාවිතයෙනි.

තාලයකට සැකසු තොරතුරු (rhymes)

“දළ රළ පෙළ” සහ “රාජා හෝ මා හෝ ගංගා හෝ” යන වැකි කාණ්ඩ වලින් සිංහල භාෂා රීති මතක තබා ගත හැකිය.

මහවැලි, කැලණි, කළු, වලවේ යන ගංගා… සමනළ කන්ද මුදුනේ සිට පැන නැංගා… බෑවුම් තැනිතලා හෙල් අතරින් රිංගා… මේවා ගලයි මිණි කැට දිය යට හංගා. මෙම කවියෙන් භූගෝල පාඩමේ අමතක විය හැකි කරුණු කිහිපයක් කාව්‍යයක් ලෙස මතකයට එක් කරයි.

ABCDEFG… HIJKLMNOP…QRS…TUV… WXY and Z. Now I know my ABC, Next time won’t you sing with me? යනු මොන්ටිසෝරියේ ඉංග්‍රීසි හෝඩිය උගන්වන සින්දුවකි.

විශේෂයෙන්ම රැප් සංගීත ශෛලියට ලියු වදන් ඇසුරින් පාඩම් මතක තබාගැනීමට ඔබට හැකි වනු ඇති. ඔබට අවශ්‍ය දැනුම රැප් සිංදුවකින් සොයාගන්නට නැතිද? එසේනම් හොඳින් හිතා මිතුරන් හා එක්ව රැප් තාලයට එම තොරතුරු ලියාගන්න.

දෘශ්‍ය රූප (visual aides)

මේ අතරට මනස් සිතියම්, මතක මාළිගා ක්‍රමය සහ වෙනත් දෘශ්‍යමය මතක තබාගැනීමේ ක්‍රම ඇතුළත්ය. මේ ලිපියෙන් මනස් සිතියම් සහ මතක මාළිගා ක්‍රම ගැන විස්තර කෙරේ.

මනස් සිතියම් නොහොත් mind maps
සංකීර්ණ තොරතුරු කුඩා කොටස් වලට වෙන්කර ගැනීමට, විශ්ලේෂණයට, තොරතුරු මතක තබා ගැනීමට සහ විවිධ අදහස් අතර සම්බන්ධතා බැලීමට මනස් සිතියම් ඔබට උපකාර කරයි. තීරණයක් ගැනීමේදී, ව්‍යාපෘතියක් සැලසුම් කිරීමේදී හෝ ලිවීමට අදහස් කරන ලිපියක හෝ පොතක අන්තර්ගතය ව්‍යුහගත කිරීමේදී මම නිතර මනස් සිතියම් භාවිතා කරමි. රේඛීය ආකෘතියකට ලිවීමෙන් තොරව, අදහස් පුළුල් කිරීමට සහ අදාළ සියළු කරුණු කෙටියෙන්, එක්සැනින් පෙන්වීමට විශිෂ්ට ක්‍රමයකි මනස් සිතියම් සාදාගැනීම.

මෙහි දැක්වෙන්නේ මිහිකත උණුසුම් වීම ගැන සෑදු මනස් සිතියමකි.

ඉගෙනීමේ ශෛලියන් විග්‍රහ කරන මනස් සටහනකි මේ:

වැඩි විස්තර සඳහා මනස් සිතියම් (Mind Map) භාවිතය සහ මනස් සිතියමක් නිර්මාණය කරගැනීමට පියවර 7ක් ලිපිය කියවන්න.

මතක මාලිගාව නොහොත් Memory Palace

මතක මාලිගාව මුලින් හැඳින්වූයේ Loci ක්‍රමය ලෙසයි. Loci යනු “ස්ථාන” සඳහා ලතින් භාෂාවෙන් කියන වදනකි. මතක මාලිගාවක් යනු අපගේ දෘශ්‍ය මතකය (visual memory) සහ අවකාශීය මතකය (spatial memory) ඒකාබද්ධ කිරීමෙන් විශාල තොරතුරු ප්‍රමාණයක් මතක තබාගැනීමට භාවිතා කරන මතක උපාංගයකි.

ක්‍රිස්තු පූර්ව 500 දී පමණ ග්‍රීක කවි සීඕස්හි සිමෝනිඩීස් විසින් මෙම ක්‍රමය සොයා ගන්නා ලද බව කියැවේ. පුරාවෘත්තයට අනුව, සිමොනිඩීස් ගෞරවනීය අමුත්තන්ගේ භෝජන සංග්‍රහයකට සහභාගී වී සිටියේය. රාත්‍රී ආහාරය අතරතුර, ඔහු පණිවිඩයක් ලබා ගැනීමට ගොඩනැගිල්ලෙන් පිටතට ගියේය. ඔහු පිටතට ගිය අතරතුර මාලිගාවේ වහලය කඩා වැටී, ඇතුළත සිටි සියල්ලන් හඳුනාගත නොහැකි ලෙස විනාශ කර දැමුනි.

මතකයෙන් භෝජන සංග්‍රහයේ ආසන සැකැස්ම ප්‍රතිනිර්මාණය කිරීමෙන් හඳුනාගත නොහැකි අයුරින් කුඩුපට්ටම් වූ අමුත්තන්ගේ දේහ නිසි ලෙස භූමදාන කිරීම සඳහා හඳුනා ගැනීමට උපකාර කරන්නට සිමොනඩීස් සමත් විය.

මානසික රූප සැකසීමට ස්ථාන භාවිතා කිරීම තුලින් ඇදහිය නොහැකි තරම් තොරතුරු ප්‍රමාණයක් මතක තබා ගත හැකිය. අප මතක මාලිගා ක්‍රමය ලෙස හඳුනන්නේ එයයි.

මතක මාලිගා ගොඩනගා ගැනීම තුලින් බොහෝ දේ මතක තබාගන්නා ආකාරය ගැන වැඩි තොරතුරු දැනගැනීමට මෙම වීඩියෝව නරඹන්න.

3. තොරතුරු සංවිධානය කිරීම සහ ව්‍යුහගත කිරීම

සංකීර්ණ තොරතුරු කුඩා කොටස් වලට කඩන්න. තාර්කික ව්‍යුහයක් නිර්මාණය කිරීමට මාතෘකා, දළ සටහන් හෝ මනස සිතියම් භාවිතා කරන්න.

4. මතකයට නගාගැනීම ප්‍රගුණ කරන්න

හුදෙක් නැවත කියවීම හෝ සමාලෝචනය කිරීම වෙනුවට මතකයෙන් තොරතුරු පාඩම් ඇතිදැයි විමසා ප්‍රත්‍යක්ෂ කරගන්න. මෙම කාර්යයට විශේෂ කාලයක් අවශ්‍ය නොවේ. බසයක, දුම්රියක හෝ මෝටර් රථයක යන ගමන් මේ දේ කළ හැකිය. යම් හෝ පෝලිමක සිටගෙන සිටින අතර කළ හැකිය. බස් නැවතුමේ ගතකරන සුළු කාලයේද කළ හැකිය.

5. කඩින් කඩ කාල පරතර වෙන්කරගෙන පාඩම් කර ඉගෙනීමට පුරුදු වන්න

අන්තිම මොහොතේ කළබල වීමෙන් වළකින්න. ඒ වෙනුවට, විභාගයට සෑහෙන කළකට පෙර ආතතියෙන් තොරව සන්සුන්ව පාඩම් කරන්නට ඔබේ අධ්‍යයන සැසි බෙදාගන්න. පාඩම් වාර අතර යම් හෝ කාල පරතරයක් තිබෙන විට ඉගෙන ගන්නා දේ වඩා හොඳට සංකේතනය කිරීමට සහ මතකයන් තහවුරු කිරීමට ඉඩ සැළසේ.

6. විවිධ අධ්‍යයන ක්‍රම භාවිතා කරන්න

කියවීම, සාරාංශ කිරීම, අන් අය සමඟ සාකච්ඡා කිරීම හෝ අන් අයහට ඉගැන්වීම වැනි ක්‍රම මිශ්‍රණයක් භාවිතා කරන්න. මෙය විවිධ කෝණවලින් ඉගෙනීම ශක්තිමත් කිරීමට උපකාරී වේ.

7. අළුතින් ඉගෙන ගන්න දේ දැනට දන්නා දේ හා සම්බන්ධ කර වඩාත් අර්ථවත් කරන්න

ඔබ දැනටමත් දන්නා කරුණුවලට හෝ පුද්ගලිකව ඔබට අර්ථවත් වන අයුරකින් නව තොරතුරු සම්බන්ධ කරන්න. මෙසේ සම්බන්ධතා නිර්මාණය කිරීම ඔබගේ අවබෝධය සහ මතකයේ රඳවා තබා ගැනීම වැඩි දියුණු කරයි.

8. ප්‍රමාණවත් නින්දක් ලබා ගන්න

මතකය තහවුරු කිරීමේදී නින්ද තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි. ඔබේ මොළයට තොරතුරු ඵලදායි ලෙස සැකසීමට සහ ගබඩා කිරීමට ඉඩ සැලසීම සඳහා විධිමත්, ගුණාත්මක නින්දක් අනිවාර්යයෙන්ම අවශ්‍යය.

9. ශාරීරිකව ක්‍රියාකාරීවන්න

ව්‍යායාම මගින් මොළයට ලැබෙන රුධිර ප්‍රවාහය වැඩි කරයි. නව නියුරෝන බිහිවීම ප්‍රවර්ධනය කරයි. නිතිපතා ශාරීරික ක්‍රියාකාරකම්වල යෙදීම මතකය වැඩි දියුණු කිරීමට සහ සංජානන ක්‍රියාකාරිත්වයට සම්බන්ධ බව පර්යේෂණ වලින් පෙන්වා ඇත.

10. ආතතිය (stress) මනා සේ කළමනාකරණය කරන්න පුරුදු වන්න

අධික ආතතිය මතකය සහ ඉගෙනීම අඩාල කරයි. ගැඹුරු හුස්ම ගැනීම, භාවනා කිරීම හෝ ඔබ කැමති විනෝදාංශවල යෙදීම වැනි ආතති කළමනාකරණ ක්‍රම පුරුදු කරන්න.

හොඳින් මතක තබා ගන්න!

සෑම කෙනෙකුගේම මතක හැකියාවන් වෙනස්ය. එක් පුද්ගලයෙකුට වැඩ කරන ක්‍රම තවත් කෙනෙකුට ඵලදායී නොවිය හැකිය. එනිසා මතකය වර්ධනය කරගැනීමට විවිධ උපාය මාර්ග අත්හදා බැලීම තුළින් ඔබට වඩාත් ගැලපෙන දේ තෝරා ගැනීම වැදගත් වේ.

මෙය හදිසියේ, විභාගය කට ළඟට ආවිට කළහැකි දෙයක් නොවේ. හොඳ සැලසුම් සහගතව, පාසල් හෝ ඉගෙනුම් වාරයක ආරම්භයේදී සිටම කළ යුත්තකි.

සැකසුම: නිලූකා දිසානායක

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑