මුලින් එන්නේ සතුටද සාර්ථකත්වයද?

බොහෝ අය පවසනු ඇත්තේ සතුට සාර්ථකත්වයෙන් පසුව එන බව ය. අපි විශ්වාස කරන්නේ මෙය නොවේද?

ෂෝන් ඇකෝර් මේ අදහසට එකඟ නොවේ. සතුට සහ සාර්ථකත්වය අතර සම්බන්ධය ගවේෂණය කරන ෂෝන් ඇකෝර් විසින් ලියන ලද පොතකි “The Happiness Advantage: The Seven Principles of Positive Psychology That Fuel Success and Performance in Work”. කෙටියෙන් මෙය අපි සන්තෝෂයේ වාසිය ලෙස හඳුන්වමු. සන්තෝෂයේ වාසිය පොතේ කේන්ද්‍රීය අදහස වන්නේ අප පොදුවේ විශ්වාස කරන අයුරට පටහැනිව, සතුට සාර්ථකත්වයට මග පාදන බවයි.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පතේ වැඩියෙන්ම අලෙවි වුණ කර්තෘ ලැයිස්තුවට ඇතුළත් වුවෙක්, අධ්‍යාපනඥයෙක් සහ ලෝකයේ ලොකුම (Fortune 500) සමාගම්වල උපදේශකයකු වන වන ඇකෝර්, ඔහුගේ The Happiness Advantage (සන්තෝෂයේ වාසිය) කෘතියෙන් මෙයට හේතු පැහැදිලි කරයි.

ෂෝන් ඇකෝර්, සතුට, සාර්ථකත්වය සහ විභවය අතර සම්බන්ධය පිළිබඳ ප්‍රමුඛ විශේෂඥයෙකු වන බැවින් ඔහුගේ අදහස සළකා බැලීම වටී. මානසිකත්වය (MIndset) පිළිබඳ ඔහුගේ පර්යේෂණ ගැන හාවඩ් බිස්නස් රිවීව් සඟරාවේ කවරයේම සටහන් විය. ඔහුගේ TED Talks කතාව මේ වන විට මිලියන 25 කට වඩා අය නරඹා තිබේ. එය වඩාත්ම ජනප්‍රිය TED Talks කතාවලින් එකකි.

“… අපි හිතන්නේ මුලින්ම අපි සාර්ථක විය යුතුයි, එවිට අපිට සතුටු විය හැකිය කියාය. නමුත් අපේ මොළය ක්‍රියා කරන්නේ ප්‍රතිවිරුද්ධ පිළිවෙළකටයි. ඔබට වර්තමානය තුළ යමෙකුගේ ධනාත්මක මට්ටම ඉහළ නැංවිය හැකි නම්, එවිට ඔවුන්ගේ මොළය එම සන්තෝෂයේ වාසිය අත්විඳියි. එනම් ධනාත්මක තත්වයෙන් පවතින විට ඔබේ මොළය එය සෘණාත්මක හෝ මධ්‍යස්ථ හෝ ආතතියට පත් අයුරින් තිබෙන විටදී වඩා සැලකිය යුතු ලෙස හොඳින් ක්‍රියා කරයි. එවිට ඔබේ බුද්ධිය ඉහළ යයි. ඔබේ නිර්මාණශීලීත්වය ඉහළ යයි. ඔබේ ශක්ති මට්ටම ඉහළ යයි.

ඇකෝර් මෙම සංකල්පයට සහාය වීම සඳහා පුළුල් පරාසයක විද්‍යාත්මක පර්යේෂණ මෙන්ම ප්‍රායෝගික උපාය මාර්ගද ඉදිරිපත් කරයි.

“ඇත්ත වශයෙන්ම, මෙම තත්වයේදී සෑම ව්‍යාපාරික ප්‍රතිඵලයක්ම වැඩිදියුණු වන බව අපට පෙනී ගොස් ඇත,” ඔහු පවසයි. “ධනාත්මක විටදී ඔබේ මොළය සෘණාත්මක, මධ්‍යස්ථ හෝ ආතතියට පත්වූ විටට වඩා 31% වැඩි ඵලදායී වේ. ඔබ විකුණුම් ක්ෂේත්‍රයේ නම් ඔබේ විකුණුම් මට්ටම 37%කට වඩා හොඳින් තිබේ. ඍණාත්මක, මධ්‍යස්ථ හෝ ආතතියට පත් වනු වෙනුවට ධනාත්මක වූ විට වෛද්‍යවරු සියයට 19ක් වේගවත්, වඩාත් නිවැරදිව රෝග විනිශ්චය කිරීමට යෙදේ.”

ඇකෝර් තර්ක කරන්නේ සතුට යනු චේතනාන්විත පරිචයන් තුළින් වර්ධනය කර ගත හැකි කුසලතාවක් මිස බාහිර තත්වයන්ගේ ප්‍රතිඵලයක් නොවන බවයි.

“… ඔබට ඔබේ මොළය වඩාත් ධනාත්මක වීමට පුහුණු කළ හැකිය. දින 21ක් එක දිගට මිනිත්තු දෙකක කාල පරාසයක් තුළ උත්සහ කිරිඉමෙන් අපට ඇත්ත වශයෙන්ම ඔබේ මොළය නැවත සකස් කළ හැකිය. එමගින් ඔබේ මොළය සැබවින්ම වඩාත් ශුභවාදීව සහ වඩාත් සාර්ථක ලෙස ක්‍රියා කිරීමට ඉඩ සලසයි.

“මම වැඩ කරපු හැම සමාගමකම මේ දේවල් පර්යේෂණ කරලා තියෙනවා. ඔවුන් දින 21ක් එක දිගට තම තමන් කෘතඥ වෙන අලුත් දේවල් තුනක් දිනකට ලියනවා. අවසානයේ දී, ඔවුන්ගේ මොළය වෙනස් වීමක් අරඹයි. එවිට ඔවුන් පළමුවෙන් සෘණාත්මකව නොව ධනාත්මකව ලෝකය පිරික්සීමේ රටාවක් වෙතට ක්‍රමක්‍රමයෙන් පිවිසේ.

“පසුගිය පැය 24 තුළ ඔබ ලැබූ එක් ධනාත්මක අත්දැකීමක් ගැන සටහන් කිරීම ඔබේ මොළයට එම හැඟුම නැවත අත්විඳීමට ඉඩ සලසයි.”

සන්තෝෂයේ වාසිය ඔබට ලැබෙන්නේ එලෙසිනි. දැන් අපි සන්තෝෂයේ වාසිය පොතේ සාරාංශය විමසමු.

සන්තෝෂයේ වාසිය පොතේ සාරාංශය

සන්තෝෂයේ වාසියට මඟ පෙන්වන මූලධර්ම සහ උපාය මාර්ග 7ක් සන්තෝෂයේ වාසිය හඳුන්වා දෙයි:

  1. සන්තෝෂයේ වාසිය: අප සතුටින් සිටින විට අපගේ මොළය වඩාත් ඵලදායී ලෙස ක්‍රියා කරන අතර එමඟින් අපගේ නිර්මාණශීලිත්වය, ඵලදායිතාව සහ ඔරොත්තු දීමේ හැකියාව වැඩි වේ.
  2. ධරය (fulcrum) සහ ලීවරය: අභියෝග ජය ගැනීමට සහ වඩා හොඳ ප්‍රතිඵල ලබා ගැනීමට අපට උපකාර වන ධනාත්මක මානසික වෙනසක් ඇති කළ හැකිය. අපගේ මානසිකත්වය වෙනස් කර ධනාත්මක අංශ කෙරෙහි අවධානය යොමු කිරීමෙන් අපට එතැනට යා හැකිය.
  3. ටෙට්‍රිස් ප්‍රයෝගය: අපගේ මොළය සෘණ රටාවක සිරවී බොහෝවිට එසේ විය හැක. කෙසේ වෙතත්, අපට හමු වන ධනාත්මක අත්දැකීම් සහ අවස්ථාවන් කෙරෙහි අවධානය යොමු කිරීමට දැනුවත්ව අපව පුහුණු කිරීමෙන් සතුට සඳහා අපගේ මොළය නැවත සකස් කළ හැකිය.
  4. ඉහළට වැටීම: ඔව්, එය පහත වැටීමේ ප්‍රතිවිරුද්ධයයි. අප මුහුනදෙන පරාජයන් සහ පසුබෑම් අපගේ වර්ධනයට සහ ඉගෙනීමට හිමි වන වටිනා අවස්ථා ලෙස සලකීමත අප ඉගෙන ගත යුතුය. අසාර්ථක වීම් හෝ පසුබෑම් වලින් පසු ශක්තිමත්ව ආපසු නැගී සිටිඉමට සහ වඩාත් ඔරොත්තු දීමට මෙමගින් අපට හැකියාව ලැබෙනු ඇත.
  5. Zorro Circle: අපි අපගේ විශාල ඉලක්කයන් වඩා පහසුවෙන් ඉටු කරගත හැකි කුඩා කාර්යයන් බවට බෙදා ගත යුතුය. එමගින් අපට ක්‍රමයෙන් අපගේ බලපෑම පුළුල් කර අපගේ දෛවය අපටම පාලනය කර ගත හැකිය යන හැඟීමක් නැවත ඇති කර ගත හැක. අපගේම පාලනයේ ඇති සීමිත කවයක් තුළ එකින් එක කුඩා ජයග්‍රහණ කෙරෙහි අවධානය යොමු කළ හැකි නම් අපගේ ආත්ම විශ්වාසය වඩාත් සවිමත් වේ.
  6. තත්පර 20හි රීතිය: තත්පර 20ක රීතිය තුළින් බාධක ඉවත් කිරීම, ධනාත්මක පුරුදු ගොඩනඟාගැනීම සහ නඩත්තු කිරීම පහසු කිරීමයි. පොතේ, ඇකොර් නීති පතා ගිටාර් වාදනය කිරීමට පටන් ගත් ආකාරය ගැන කියැවේ. ඔහු මුළින්ම තම ගිටාරය අල්මාරියක අස්සේ සඟවා නොතබා විසිත්ත කාමරයට ගෙනැවිත් තැබීය. එවිට ඔහු රැකියාව අවසානයේ නිවසට පැමිණෙන විට, පහසුවෙන් ළඟා විය හැකි අතේ දුරින් පෙනෙන්නට තිබේ. එය වාදනයට අමතර වෑයමක් අවශ්‍ය නොවීය. ඒ සමගම, ඔහු විසිත්ත කාමරයේ තිබුන දුරස්ථ පාලකයෙන් බැටරිය ගලවා ඔහුගේ නිදන කාමරයේ (සාලයේ සිට තත්පර 20ක් දුරින්) තබන්නට පුරුදු විය. මෙම තනි පියවර නිසා ඔහු රූපවාහිනිය නැරඹීමට ගත කරන කාලය බොහෝ ලෙස අඩු කිරීමට සමත් විය. ධනාත්මක හැසිරීම් වල නියැලීමට අවශ්‍ය කාලය හා ශ්‍රමය අඩු කර ගැනීමෙන්, අපේක්ෂිත පුරුද්දක් සාර්ථකව ගොඩනගා ගැනීමේ සම්භාවිතාව වැඩි කර ගත හැක. එමෙන්ම රුපවාහිනිය නැරඹීම වැනි අවාසි සහගත පුරුදු වල යෙදීම අපහසු කර ගැනීමෙන් අපට එම පුරුදු වඩා පහසුවෙන් අත්හැරිය හැක.
  7. සමාජ ආයෝජනය: අපගේ සමාජ සම්බන්ධතා අප ජීවිතයේ සතුට සහ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීමට වැදගත් මට්ටමකින් දායක වේ. ඒවා ගොඩනගාගෙන පවත්වාගන්නට අප වැය කරන කාලය සහ ශ්‍රමය වටිනා ආයෝජනයකි. සමීප සහ දුරස්ථ පවුල් සාමාජිකයන්, මිතුරන්, රැකියා සගයන් සහිත වන ශක්තිමත් සමාජ ජාලයක් ගොඩනගා ගැනීම අපගේ සතුට හා සාර්ථකත්වය කෙරෙහි විශාල බලපෑමක් ඇති කරයි. අප අවට සිටින අන් අය සමඟ අර්ථවත් අයුරින් සම්බන්ධ වී කාලය ගත කිරීම මෙයින් අදහස් වේ. නිදසුනක් වශයෙන්, ඔබට නිතිපතා ඇවිදීමට හෝ දිවීමට හෝ යම් ධනාත්මක ක්‍රියාකාරකමක නිරත වීමට අවශ්‍ය නම්, එම දෙයම කිරීමට කැපවී සිටින මිතුරෙකු හෝ අනෙකෙකු සොයාගන්න. එවිට ඔබට කම්මැලි සිතෙන දිනවලදී පවා අනෙක් පුද්ගලයා එය කිරීමට කැමති බව දැනීමම ඔබව දිරිමත් කරන්නට සෑහෙනු ඇත.

ෂෝන් ඇකොර්ගේ The Happiness Advantage කෘතියෙන් අපගේ සතුටේ බලය උද්දීපනය කිරීමට භාවිතා කළ හැකි බොහෝ ප්‍රායෝගික උපාය මාර්ග ඉදිරිපත් කරයි. එසේ කිරීමෙන්, අපගේ ඵලදායිතාව, නිර්මාණශීලිත්වය සහ සමස්ත යහපැවැත්ම වැඩිදියුණු කිරීමට අපට හැකිය. ධනාත්මක මනෝභාවයක් ඇති කර ගැනීම සහ හිතාමතාම සතුට වර්ධනය කර ගැනීම තුළින් අපගේ පෞද්ගලික සහ වෘත්තීය ජීවිතය වඩාත් ධනාත්මක කළ හැකිය.

මෙම කෘතිය ප්‍රථම වරට ප්‍රකාශයට පත් කරන ලද්දේ 2010 දී බව ඇත්තකි. නමුත් එහි පණිවිඩය එදා මෙන්ම අදත් ප්‍රබලය. ඉක්බිතිව, ෂෝන් ඇකොර් එම තේමාව ඔස්සේම වෙනත් පොත් ප්‍රකාශයට පත් කර ඇත. Big Potential: How Transforming the Pursuit of Success Raises Our Achievement, Happiness, and well-Being (2018) මගින් තනි තනිව සතුට හා සාර්ථකත්වය ලුහුබැඳීම අපගේ හැකියාවන් සීමා කරන ආකාරය පැහැදිලි කරයි. අපට තනිවම සාක්ෂාත් කරගත හැකි පමණට වඩා විශාල විභවයක් අන් අය සමඟ එක්ව සතුට හා සාර්ථකත්වය හඹා යාමෙන් උදාකරගත හැකි බව එමගින් පෙන්වා දෙයි.

ඔබට හැකිනම් මෙම පොත් කියවා බලන්න. එලෙසම ෂෝන් ඇකොර්ගේ TED Talks වීඩියෝව නරඹන්න. ShawnAchor.com හිද ඔබට රසවිඳිය හැකි තවත් වීඩියෝ තිබේ.

අනුවාදය: නිලුකා දිසානායක

Leave a comment

Start a Blog at WordPress.com.

Up ↑